March 26, 2014

( අ ) විදිමත් රාජ්‍ය සේවය


එදා සිට අද දක්වා ලංකාවාසී ජනතාව රාජ්‍ය සේවා ලබාගැනීමේදී සිදුවන රස මුසු තැන සහ ඒවා ලබාගැනීමේදී ඇතිවෙන (අ)පහසුව ජනතාවට හෙලිකිරීම තුලින් අනාගතයේ හෝ ඉතාමත් කාර්යෂම සේවයක්
( ලබන ආත්මේ හරි ) ලබාගැනීමට හැකිවෙන වාතාවරණයක් ඇති කිරීම මෙම ලිපියෙන් බලාපොරොත්තු වෙනවා.

ඉතින් සමාජ මෙහෙවරක් හැටියට ඉල්ලා සිටිනවා ඔයාලටත් සිදු උන හොද / නරක අද්දැකීම් අප අතරේ බෙදා ගන්න උදව් කරන්න කියල. 

මේක අපි කාටත් රස්තියාදු නොවී යම්කිසි කාර්යක් කරගැනීමට ඉවහල් වේවි ......



කම්කරු දෙපාර්තමේන්තුව - නාරාහේන්පිට

දැන් B කාඩ් නැති උනොත් අනු පිටපත් අවශ්‍ය නැතිලු .....!!!  

උන්ගේ රෙද්ද අස්සේ ඔය නෝටිස් එක ගහල තිබුන මම ගිය වෙලාවක. 
හෙන ගහනවද පත්තරේක අඩුම ගානේ උන්ගේම TV එකක දැම්මනම්. අර අහිංසක මිනිස්සු රස්තියාදු වෙන්නේ නෑනෙ ...  ( ආස්චර්යේ ..... )



ගාල්ල / මාතර / අනුරාධපුර වගේ දුර ඉදල ඇවිල්ල , ඔය නෝටිස් එක බලල යන ය මට ගොඩක් හම්බ උනා මම චාටෙර් එකක් කාගෙන ඉගෙන ඉන්න වෙලාවේ ( අර ඒ මහත්තුරුන්ගේ කෑම දෙපැය 2 තියෙන්නේ ( අපිට නම් පැය 1/2යි දෙන්නේ )  අන්න ඒ අතර තුර / සමහර මහත්තුරු වැඩ කරලා වැඩ කරලා ... නින්දත් ගිහිල්ලා මහන්සියට ) මට ඒ ඉන්න පැය කීපය තේරුම් ගියා .....  ඒ ය ඉන්නේ කොච්චර ගින්දරෙන්ද කියල. සමහරුන්ට මල ගෙවල් තවත් සමහරුන් අර ඉස්කෝලේ ඇරිලා ආව දරුවන්ට කෑම  කවන්න යනවා, තවත් සමහරු තුෂ්නිබුතව ඔහේ බලාගත්ත ඇත බලා ඉන්නවා ... පව්.



සීට් වල වැඩිවෙලා තිටියේ දෙතුන් දෙනයි .......  ඒ තරමටම රාජකාරී වලට කට්ටිය ගිහිල්ල .  මගේ ලියුම ටයිප් කරන්න නම් පැය 1.5ට වැඩ ගියේ නෑ . ( පිටු 1/2 වත් නෑ :) ) 
අනේ අම්මපා මේ මිනිස්සු විදින මේ දුක් කන්දරාව හැටියට පඩියෙන් (සීයට) 8% නෙමෙයි 18% කැපුවත් පාඩු නෑ කියල. සල්ලි ගන්නත් හරිම ලේසී . හරියටම ATM එකකින් ගන්නවා වගේ. අනිත් එක ඒ කන්තෝරු  උදේ 10ට පටන් අරගෙන 12ට වහනවානම් තමා ගොඩක් හොද. ( මානසික ආතතිය අඩු කිරීමේ යෝජනාවකි )

හොදම එක කියන්න බැරිඋන නේ.  මම ඉතින් වැඩර් වගේ උඩටම ගිහිල්ල අර ජේස්ට කම්කරු නිලධාරී කියන අයගෙන් මගේ ගැටලුව ඇහුවා ( මගේ තිබුනේ B කාඩ් එකේ මම හොද සුද්ද සිංහලෙන් ලියාපු නම එහෙ එන්ටර් කොරාගෙන තියෙන්නේ වැරදියට ... පවූ.....   සිංහල නොතේරෙන කමට වෙන්න ඇති ) අහන අහන එක කියන්න මහා බැංකුවට යන්න කියල - උන්ගේලු වැරැද්ද ...  අපි හරිලු ...

මම යන්නත් හදලා නිකමට වගේ ආරක්ෂක අංශයේ නිලධාරිනියකගෙන් ඇහුව නිකමට හිතේ තිබුන දුකට ...  මෙන්න කියාපි 9වෙනි ටට්ටුවට ගොහින් මෙහෙන් ලිපියක් අරගෙනම බහ බැංකුවට යන්න කියල. ( මට නිකමට වගේ හිතුන මේ ගොයියන්ගේ තානාන්තර මාරු වෙලා වත්ද කියල ....)  හරියටම කරුණු කාරණා මේකේ දන්නේ සිකුරිටි අත්තිලා නොවැ . මම මහා බැංකුවට ගිහින් අයෙත් අවනම් ...  පව් අර බැනුම් අහන ඔකුන්ගේ අහිංසක අම්ම තාත්තා ... 

කොහොමහරි ලියුමත් අරගෙන අතිගරු ජනාධිපති තුමා ඇතුළු අමාත්‍ය මණ්ඩලය සහ සමස්ත රාජ්‍ය නිලධාරීන් ට නොසෑහෙන ගුණ වර්ණනා ලැබුණු ඒ පය කීපය නිමාවට පත් කරමින් මම ගෙදර අවා .....

ඊලග කොටස මගේ  මහා බැංකු චාරිකාවෙන් පසුව බලාපොරොත්තු වන්න .....

March 9, 2014

ලොව අමතක කළ ශ්‍රේෂ්ඨයෝ – නිකොලා ටෙස්ලා Nikola-Tesla





ක්රොඒශියාවේ සර්බියානු යුවළකට දාව, 1856 දී...ඒත් වැරදි කාලයක (ඒ ගැන පසුව කියන්නම්කෝ).  අවු. 4 ක පාසල් වාරයක් අවු. 3 කින් අවසන් කරන ටෙස්ලා, විදුලි ඉංජිනේරු විද්‍යාව හැදෑරීමට ඔස්ට්‍රියාවේ, ග්‍රේස් වෙත යනවා. ඒත් උපාධිය අවසන් වන තෙක් එහි නොරැඳෙන ඔහු, 1878 දී විශ්ව විද්‍යාලයත් තමන්ගේ පවුල සමග තිබූ සම්බන්ධතා ත් අත් හරිනවා. හේතුවනම් පැහැදිළි නැහැ. 1880 දී ඔහු බුඩාපෙස්ට් වෙත යන්නේ ටෙලිග්‍රාප් ආයතනයක සේවය සඳහා. එහිදී ඔහු නිපදවන ටෙලිෆෝන් ඇම්ප්ලිෆයරය, ලොව ප්‍රථම ශබ්ද විකාශන යන්ත්‍රය ලෙස හැඳින්වීමේ වරදක් නැහැ. ඉන්ඩක්ෂන් මෝටරය ගැන අදහස ඔහුගේ හිතට එන්නෙත් මේ කාලයේදී. අද අපේ නවීන ලෝකයේ පාවිච්චි වෙන බොහොමයක් උපකරණ වල භාවිතා වෙන මෝටරය තමයි ඒ.

1882 දී ටෙස්ලා පැරිස් වෙත යන්නේ. කොන්ටිනෙන්ටල් එඩිසන් ආයතනයේ සේවය සඳහා. ඔහු මුල් වරට ඇමරිකාවට පා තබන්නේ 1884 දී. ඔහුගේ මුල් ව්‍යවසායකයා(චාර්ල්ස් බැචලර්) ගෙන් ලැබුණු රෙකමදාරු ලියුමත් රැගෙන ටෙස්ලා යන්නේ "තෝමස් අල්වා එඩිසන්" මුණ ගැහෙන්න. චාර්ල්ස් බැචලර් දීපු මේ රෙකමදාරු ලියුමේ තිබුනේ මෙච්චරයි...

"I know two great men in this world. One is you. The other one is the young man who's carrying this letter"

( "මේ ලෝකයේ සිටින ශ්‍රේෂ්ට මිනිසුන් දෙදෙනෙක් ගැන මම දනිමි. එක්කෙනෙක් ඔබය. අනෙකා මේ ලියුම රැගෙන එන්නාය" )

ඒ වෙද්දී තෝමස් අල්වා එඩිසන් හිටියේ ඉතාමත් ඉහළ තැනක. හැබැයි තමන්ගේ උත්සාහයෙන්ම නෙමෙයි. ගොඩක් දුරට තමන් යටතේ වැඩ කරන අයගේ නිමැවුම් වලට පේටන්ට් බලපත්‍ර ගෙන ඒවා අලෙවි කිරීමෙන් තමයි ඔහු නමක් හදාගෙන තිබුනේ. ඔහු වඩා දක්ෂ උනේ අනුන් කරන නිපැයුම් මාකට් කරන්න. විශ්වාස නැද්ද? බලන්නකෝ ඔහු ටෙස්ලා ට කරන දේ...

එඩිසන්ගේ ආයතනයේ තිබුණු විදුලි ජනක යන්ත්‍ර ප්‍රතිනිර්මාණය කිරීම ටෙස්ලාට බාර වෙන්නේ එය සාර්ථකව නිම කලොත් ඩොලර් පනස් දහසක් ලබා දීමේ පොරොන්දුව මත. තමන්ට නියම වුනු කාර්යය ඉතාමත් හොඳින් නිම කරන ටෙස්ලා, එඩිසන් ගෙන් ඩොලර් පනස්දාහ ඉල්ලා හිටියම ඔහුට ලැබෙන්නේ මෙන්න මේ වගේ පිළිතුරක්.

"ටෙස්ලා...ඇමරිකන් විහිලු ගැන ඔබ දන්නේ නැහැ"

මෙවෙලේ එඩිසන්ගේ ආයතනයෙන් ඉල්ලා අස් වෙන ටෙස්ලා, නිව් යෝක් නගරයේ කම්කරු කටයුතු වල නිරත වෙනවා. ඒක ඔහුට ඉතාමත් කටුක කාල පරිච්ඡේදයක් උනා. මඩ වලක හිටියත් මැණිකේ අගය අඩු වෙන්නේ නැහැ කියන්න වගේ ටෙස්ලාගේ නිසඟ කුසලතා යටපත් කරන්න දෛවය ට හැකි උනේ නැහැ.

BranKo Tomovic Nikola Tesla

මේ කාලේ වෙද්දී විදුලිය සම්ප්‍රේෂණය කරලා තියෙන්නේ සරල ධාරා (Direct current) යොදා ගෙන. මේ ක්‍රමයේදී සිද්ධ වෙන්නේ සන්නායකය (කම්බිය) හරහා ඉලෙක්ට්‍රෝන ධාරාවක් ගැලීම. කම්බියේ ප්‍රතිරෝධය නිසා විශාල වශයෙන් බල ශක්තිය හානි වීමක් මේ ක්‍රමයේදී වෙනවා. ඒ වගේමයි ඒකට යොදා ගන්න කම්බිත් විශ්කම්භයෙන් ඉතාම වැඩියි(ඇයි ඉතින් පුළුවන් තරම් ප්‍රතිරෝධය අඩු කරන්න ඕනනේ) . ඒ නිසා මේකේ තිබුණ ලොකුම අවාසිය තමයි වැඩි දුරකට විදුලිය සම්ප්‍රේෂණ කරන්න අපහසු වීම. සැතපුමෙන් සැතපුමට සම්ප්‍රේෂණ කුළුණු සවි කරන්න උනා වගේම හැම තැනකම ඝන කමින් ඉතා වැඩි අති විශාල කම්බි ප්‍රමාණයක් අදින්නත් සිද්ධ උනා. කොටින්ම කියනවනම් නගරයේ එක තැනක අහසත් නොපෙනෙන තරමට කම්බි ඇදලා තිබුණලු. එහෙම කරලත් විදුලිය ලබා දෙන්න පුළුවන් උනේ ඉතාමත් සීමිත ප්‍රදේශයකට. පහළ වම් පැත්තේ පින්තුරේ බලන්නකෝ...




හ්ම්...දැන් බලන්නකෝ දකුණු පැත්තේ තියන පින්තුරේ. ඒ ස්ථානයමයි, ඒත් අර වයර් ගොඩ නැති වෙලා. ඒ ස්ථානය මේ තත්ත්වෙට ගත්තේ කවුද දන්නවද? "ටෙස්ලා....ඒ කොහොමද?

 "ප්‍රත්‍යාවර්ථ ධාරා" එහෙම නැත්නම් "Alternating current" කියන සංකල්පය ටෙස්ලා ට පහළ වෙන්නේ මේ වයර් ගොඩවල් දැක්කට පස්සේ. මේ ක්‍රමයේදී ඉලෙක්ට්‍රෝන ගැලීමක් සිද්ධ වෙන්නේ නැති නිසා කම්බිය දිගේ බල ශක්ති හානියක් සිද්ධ වෙන්නේ නැහැ. සරල ධාරා ක්‍රමයට වඩා සැතපුම් සිය ගානක් ඈතට විදුලිය සම්ප්‍රේෂණය කරන්න ඕන උනේ ඉතාමත් සීමිත සම්ප්‍රේෂණ කුළුණු ගානක්. ඒ වගේම ඉතාමත් සිහින් කම්බි මේ සඳහා යොදා ගන්න පුළුවන් උනා. මේ ක්‍රමය ඉතාමත් කාර්යක්ෂම වගේම ලාබදායී ක්‍රමයක්. මේ සංකල්පයේ වැදගත් කම තේරුම් ගත්ත "ජෝජ් වෙස්ටින්ග්හවුස්" කියන ධනවතා ඩොලර් 60000 කට එහි පේටන්ට් බලපත්‍රය ටෙස්ලාගෙන් මිල දී ගෙන ප්‍රත්‍යාවර්ථ විදුලි පද්ධති ස්ථාපිත කිරීම අරඹනවා. 


ඉතින්, අද මුළු ලෝකයම ඒකාලෝක වෙලා තියෙන්නේ, ඕනෑම අහුමුල්ලකට ඉතාමත් පහසුවෙන් විදුලිය ලබා ගැනීමේ හැකියාව ලැබිලා තියෙන්නේ ටෙස්ලා නිසා කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැ නේද?


දැන් එතකොට තෝමස් එඩිසන් ඉන්නවා නේද? එයා සම්පුර්ණයෙන් අනුග්‍රහය දක්වමින් හිටියේ සරල ධාරා ක්‍රමයට. ඔහු විදුලි බල්බයටත් පේටන්ට් අරගෙන තිබුනේ (එයත් ඔහුට අයිති නිර්මාණයක් නෙමෙයිලු. වෙන කෙනෙකුගේ නිර්මාණයක් වැඩි දියුණු කිරීමක් පමණයි). ටෙස්ලා අස් වෙලා ගිය දවසේ ඉඳන් එඩිසන් ඔහුගේ විරුද්ධ කාරයා. ඔහුට මේක අල්ලන්නේ නැහැ. ඉතින් ඒකට උපායක් කල්පනා කරන එඩිසන් අන්තිමට මෙහෙම දෙයක් කරනවා. බල්ලෝ පූසෝ වගේ සත්තු අල්ලාගෙන ඇවිත් උන්ට ප්‍රත්‍යාවර්ථ ධාරාවක් වදින්න සලස්වලා එයින් උන් මැරෙන බව පෙන්නපු එඩිසන් කිව්වේ මෙය ඉතාමත් අනතුරුදායක දෙයක් නිසා භාවිතය නැවැත්විය යුතු බවයි. ඒත් ඉතින් අදටත් අපේ ගෙවල්වලට විදුලිය ගේන්නේ ඔය ප්‍රත්‍යාවර්ථ ධාරාව, ටෙස්ලාට පින් සිද්ද වෙන්න. හැබැයි එඩිසන් මහත්තයම තමයි ආණ්ඩුවට යෝජනා කරලා තියෙන්නේ හිර කාරයින්ට මරණ දඬුවම දීම සඳහා ප්‍රත්‍යාවර්ථ ධාරාව යොදා ගන්න කියලා.

කොහොම හරි මේ සිද්ධි වෙන අතරේ "ක්‍රිස්ටෝපර් කොලොම්බස්" ගේ ඇමරිකා ආගමනයේ 400 වන සංවත්සරය සමරන දවස ලං වෙනවා. ඒ සඳහා උත්සවාකාරයෙන් චිකාගෝ නගරයේ ප්‍රදර්ශන සහ සංදර්ශන පැවැත්වීමට (World's Colombian Exposition / World's Fair කියන්නේ ඒකට) සූදානම් වන අතරේදී එය ආලෝකවත් කිරීම බාර දෙන්න ටෙන්ඩර් කැඳවීමක් කරනවා. ඒක දිනාගන්නේ ටෙස්ලා, වෙස්ටින්ග්හවුස් ගේ අනුග්‍රහයෙන්. හේතුව තමයි සරල ධාරා යොදාගෙන කරන ආලෝකකරණය ට වැය වන මුදලින් අඩක් පමණක් මේ සඳහා වැය වීම. ඉතින් ටෙන්ඩරය ලැබෙන එක පුදුමයක් නෙමෙයි. දැන් මෙතන තව ප්‍රශ්නයක් වෙනවා. අර ටෙන්ඩර් එක ගන්න එඩිසන් මහත්මයත් ලන්සු තිව්වට ඔහුට ඒක ලැබුනේ නෑ. ඉතින් ඔහු කරන්නේ ටෙස්ලා ට අකුල් හෙලන එක. විදුලි බල්බයේ පේටන්ට් බලපත්‍රය තිබුනේ එඩිසන් අතේ නිසා ආලෝකකරණය සඳහා බල්බ යොදා ගන්න ටෙස්ලාට තහනම් කරනවා...

දැන් ඉතින් බල්බ් නැතුව මොන ආලෝකකරණද? ඒත් ටෙස්ලා නෙමෙයි ඒවායින් සැලුනේ. ඔහු ඒ සඳහා වෙනස්ම ආකාරයේ බල්බයක් ඔහු විසින්ම නිපදවනවා (පසු කලක ඔහු නිපදවන ගෑස් බල්බයේ සංකල්පය තමයි අද සී එෆ් එල් බල්බ වල භාවිතා වන්නේත්). අදාළ දවසේ දහස් ගණන් බල්බ දල්වමින් ආලෝකකරණ කටයුත්ත අති සාර්ථක ලෙස නිම කරන්න ඔහුට පුළුවන් වෙනවා. ඒ තමයි ඉතිහාසයේ ප්‍රථම වරට එවන් දෙයක් විදුලියෙන් ආලෝකකරණය කළ අවස්ථාව. ඉන් පස්සේ තමයි ටෙස්ලා ගේ නම ලොව පුරාම ප්‍රසිද්ධ වෙන්නේ.



ටෙස්ලා ගේ අති සාර්ථකත්වය දකින නයගරා ඇල්ල භාරව තිබූ කොමිසම, ජල බලය යොදාගෙන ප්‍රත්‍යාවර්ථ ධාරා නිපදවීම අත්හදා බැලීමට ටෙස්ලාට අවසර දෙනවා. නයගරා ඇල්ලෙන් විදුලිය නිපදවුවොත් එය භාවිතා  කළ හැකි ලඟම නගරය උනේ "බෆලෝ නගරය". එයට ඇල්ලේ ඉඳන් සැතපුම් 20 ක් පමණ ඇති නිසා සරල ධාරා සම්ප්‍රේෂණය කොහෙත්ම ප්‍රයෝගික නැහැ. ඒ නිසා ටෙස්ලා ගේ ප්‍රත්‍යාවර්ථ අත්හදා බැලීම් වලට නිතරඟයෙන් ඉඩ ලැබෙනවා. නයගරා ඇල්ලේ ජල විදුලි සම්ප්‍රේෂණය ස්විචය  විවෘත කරන අවස්ථාවේ ටෙස්ලා එතන ඉඳලත් නැහැ. එය නිවැරදිව වැඩ කරන බවට ඔහුට ඒ තරමටම  විශ්වාසයක් තිබුනා. ලොව ප්‍රථම ජල විදුලි බලාගාරය තමයි ඒ. නයගරා ඇල්ල අසල ටෙස්ලාගේ ප්‍රතිමාවක් තියෙන්නේ මොන එකකටදැයි කල්පනා කරන අයට උත්තරේ තමයි මේ දුන්නේ :)






1898 දී පමණ ටෙස්ලා කළ තවත් සොයා ගැනීමක් තමයි දුරස්ථ පාලනය. අද, රූපවාහිනියේ පටන් සැටලයිට් දක්වා හැම උපකරණයකම වගේ පාවිච්චි වෙන්නේ ටෙස්ලාගේ මේ සොයා ගැනීම. 1917 දී ටෙස්ලා ගෙන ආ තවත් සංකල්පයක් තමයි රේඩියෝ තරංග පරාවර්තනය කිරීම මගින් වස්තුවක වේගය සහ ස්ථානය නිර්ණය කිරීම. එය ආරක්ෂක කටයුතු සඳහා යොදා ගැනීම ටෙස්ලා ගේ අදහස උනත් එවකට නාවික හමුදාව සම්බන්ධ නිලයක් දැරූ එඩිසන් විසින් එය වළක්වනවා. රොබර්ට් වොට්සන් "රේඩාර්" සොයා ගත්තේ ඉන් අවු. 17 කට පස්සේ. ඇත්තටම එහි ගෞරවය ලැබෙන්න ඕන ටෙස්ලා ට. "විල්හෙල්ම් රෙන්ට්ගන්" එක්ස් රේ සොයා ගැනීමට අවු. 8 කට පෙර, ටෙස්ලා එක්ස් රේ යොදා ගෙන පරීක්ෂණ කර තිබෙනවා. ටෙස්ලාට ඒ දේවල්, ඔහුගේ පරීක්ෂණ වලට යොදා ගත් අතුරු නිපැයුම් පමණයි.

අනාගතයේ නිසැකවම ඇති විය හැකි බලශක්ති අර්බුදය (ඛනිජ තෙල්, ගල්අඟුරු වැනි දේ නැවත උත්පාදනය නොවන සම්පත් බැවින්) ගැන අනුමාන කරන ටෙස්ලා, විකිරණ බල ශක්තිය හඳුන්වා දෙනවා. විශ්වයෙන් අපට ලැබෙන අසීමිත ශක්තිය ප්‍රයෝජනයට ගැනීම සඳහා සූර්ය කෝෂ නිපදවීම ඇරඹෙනවා.

නොබෙල් ත්‍යාග ලාභී "ගුග්ලිමෝ මාර්කෝනි" රේඩියෝව සොයා ගත් බව හැමෝම අහල ඇති. ඒත් ඒ සොයා ගැනීමට යොදාගත් අනෙක් සියලු නිමවුම්, ටෙස්ලාගේ බව දන්නේ නැහැ නේද? ඒත් ටෙස්ලා කිව්වේ මෙපමණයි.

"Marconi is a good fellow...Let him continue. He is using 17 of my patents"

රේඩියෝව නිපදවීමට මාර්කෝනි විසින් ටෙස්ලාගේ පේටන්ට් 17 ක් යොදා ගෙන තිබෙනවා. මේ නිසා පසු කලෙක රේඩියෝව සොයා ගැනීමේ ගෞරවය නැවත ටෙස්ලා වෙත පවරනවා.

ටෙස්ලා ගැන කතා කරද්දී තවත් කතා නොකර බැරි දෙයක් තියනවා. "ටෙස්ලා කොයිල්" ගැන. ගැමියාගේ පත් ඉරුවේ මේවා සම්බන්ධ කරගෙන ලස්සන ප්‍රබන්ධයක්‌ ලියවිලා තිබුණා. දැන් බලමුකෝ මොකක්ද මේ සංකල්පය කියලා. "වයර්ලස්" එහෙම නැත්නම් රැහැන් රහිත සම්ප්‍රේෂණය ගැන හැමෝම දන්නවනේ. ටෙස්ලා කොයිල් එකෙන් කරන්නේ රැහැන් රහිත බලශක්ති සම්ප්‍රේෂණය කිව්වොත් මම හිතන්නේ මම වැරදි නැහැ. අවකාශය හරහා විදුලිය සම්ප්‍රේෂණය කරන්න (හරියට රේඩියෝ තරංග ගමන් කරනවා වගේ) හදපු සැළසුමේ මුල තමයි ඒ. මේ වීඩියෝවෙන් බලාගන්න පුළුවන් ටෙස්ලා කොයිල් එකක් මොන වගේද කියලා.



මේ විදියට සම්ප්‍රේෂණය කරන විදුලිය සරලවම ප්‍රතිග්‍රාහකයක් වෙත (බල්බයක් වැනි) ලබා ගන්න හැකියාව තියනවා, කිසිම වයර් ඇදීමක් නැතිව. ඒ කියන්නේ ටෙස්ලා කොයිල් එකක් සම්ප්‍රේෂණය කරද්දී ඒ සීමාව තුල කෙනෙක් බල්බයක් නිකන්ම අතේ තබා ගෙන හිටියොත් එය දැල්වෙනවා, හැබැයි මිනිසාට හානියක් නොවී. කොයි තරම් අපූරු සංකල්පයක්ද? ටෙස්ලා මේ ගැන කොලරාඩෝ ප්‍රාන්තයට ගොස් පරීක්ෂණ පවත්වද්දී මිනිසුන් හිතුවේ ඔහු දෙවියන්ට අයත් වැඩ කරන පිස්සෙක් විදිහට. නැවත නිව්යෝක් වෙත එන ටෙස්ලා ගේ අදහස වෙන්නේ විශාල ටෙස්ලා කුළුණක් තනා ලෝකයටම විදුලිය, සංගීතය, රේඩියෝ තරංග ආදී සියල්ල සම්ප්‍රේෂණය කිරීම. ඔහු මේ සඳහා "මෝගන්" නම් මුදල් අනුග්‍රාහකයෙක් සොයා ගන්නවා.

ඒත්, අවාසනාවකට කුලුන තනාගෙන යද්දී ගුග්ලිමෝ මාර්කෝනි රේඩියෝ තරංග සම්ප්‍රේෂණය කරන නිසා මෝගන් හිතනවා තව දුරටත් මේකට අනුග්‍රහය දක්වන එකේ තේරුමක් නෑ කියලා. ටෙස්ලාගේ සැලසුම රේඩියෝ තරංග සම්ප්‍රේෂණයට වඩා ඉතාමත් එහා ගිය එකක් බව ඔහුට වැටහෙන්නේ නැහැ. කුලුනේ වැඩ අතරමග නතර වෙනවා. මේ නිසා ටෙස්ලා විසින් ලොවට දීමට නියමිතව තිබූ අසිරිමත් ත්‍යාගය අපිට අහිමි වෙනවා.

ටෙස්ලා මිය යන්නේ 1943 දී නිව්යෝකර් හෝටලයේ ඔහුගේ කාමරය තුලදී, තනිවම. ඔහු මිය ගොස් ඇති බව හෝටල් සේවකයින් දැන ගන්නේ දිනකට හෝ දෙකකට පසුව.  ඒත් සමගම ක්‍රියාත්මක වන ඇමරිකන් ආණ්ඩුව ටෙස්ලාගේ සියලුම ලිපි ගොනු තමන් භාරයට ගන්නවා. ඒ හේතුවක් ඇතුව. එය දෙවන ලෝක යුද්ධය පැවතුනු කාලය. ටෙස්ලා කරපු ඇතැම් පරීක්ෂණ සතුරා අතට පත් උනොත් ඉතාමත් විනාශකාරී වන බව ඔවුන් දැනගෙන සිටියා.

ඉන් එකක් තමයි භුමි කම්පා යන්ත්‍රය. ඕනෑම වස්තුවකට  අනන්‍ය අනුනාද සංඛ්‍යාතයක් ඇති බවත් ඒ සංඛ්යාතයම වෙනත් ප්‍රභවයකින් ඇති කලොත් ඒ වස්තුව කඩා බිඳ විනාශ කළ හැකි බවත් දන්නවා ඇති නේ. ඒ තමයි අනුනාදය කියන සංසිද්ධිය (ලතා මන්ගේශ්කාර්ගේ කටහඬ ට පුළුවන්ලු වයින් වීදුරුවක් අනුනාද කරලා බිඳින්න). ඉතින් ටෙස්ලා කලේ වස්තුවක අනුනාද සංඛ්‍යාතය නිර්ණය කරලා එයට සමාන සංඛ්‍යාතයක් ඇති ශබ්දයක් නිකුත් කරන්න පුළුවන් උපකරණයක් හදන එක. ඉතා විශාල ගොඩනැගිලි, පාලම් පවා මේ පුංචි උපකරණය යොදා ගෙන විනාශ කරන්න හැකියාව තියනවා.

ඒ විදියේ තවත් පරීක්ෂණයක් තමයි "Death rays". ඉතාමත් ඈතදී මිසයිලයක් පවා විනාශ කිරීමේ හැකියාව මේ කිරණ වලට තියනවලු.

දැනට මේ ලිපි ගොණු ටෙස්ලා කෞතුකාගාරයේ තිබුනත් කොපමණ ලිපි ප්‍රමාණයක් සැඟවිලා ද කියලා කිසි කෙනෙක් දන්නේ නැහැ.

ටෙස්ලා එදා ඉදිරිපත් කළ සංකල්ප බොහොමයක් මනස්ගාත ලෙස සමාජය විසින් බැහැර කලත් නවීන ලෝකයේ සියයට අසූවක් පමණම භාවිතා වන්නේ එම සංකල්ප. එහෙත් ටෙස්ලාට ඒවායේ ගෞරවය නිසි පරිදි ලැබෙනවාද යන්න සැක සහිතයි. ටෙස්ලා අනාගතයේ ජිවත් වුනු කෙනෙක්.  ඔහු ඉපදුනේ වැරදි කාලයක බව මම කලින් කීවේ ඒ නිසයි. අද කාලෙයේ නම් මෙවැනි සංකල්ප ඉදිරිපත් කරන්නෙක් මහා ධනවතෙකු වනු නියතයි. ඒත් ටෙස්ලා ජිවත් වුනේ දුප්පතෙක් විදියට. සියවසක පමණ අනාගතයට සරිලන පරීක්ෂණ වෙනුවෙන් මුදල් වියදම් කළ නිසා නැවත ඉපැයීමක් සිද්ධ උනේ නැහැ. ඔහුගේ සොයාගැනීම් වලට අන් අය පැසසුම් ලබද්දී, ටෙස්ලා කළේ කිසිම දෙයක් බලාපොරොත්තු නොවී තව තවත් අසිරිමත් දේ ලොවට දීම සඳහා තම මුදල්, කාලය කැප කිරීම. ජූලි 10, ටෙස්ලා දිනයයි. ඔහු වෙනුවෙන් අවුරුද්දේ දින කොපමණ වෙන් කළත් වරදක් නැතැයි මට සිතේ. 


ලෝකයක් තැනූ ටෙස්ලා, ලෝකය විසින් අමතක කරන ලදුව...





"Our virtues and our failings are inseparable...like force and matter...When they separate, man is no more..." - Nikola Tesla

~~~ පහන් යාය ~~~ බ්ලොගයෙන් උපුටා ගන්නා ලදි .


March 8, 2014

Lost Your Laptopn or Smart Phone - ලැප හරි ඔබගේ ස්මාට් පෝන් එක සොරකම් කලොත්



ලැප හරි ඔබගේ ස්මාට් පෝන් එක  සොරකම් කලොත් නැවත හොයාගන්න විදියක්..

හොදයි මෙම ලිපියෙන් කතාකරන්න බලාපොරොත්තු වෙන්නේ ඔබට බොහොම වැදගත් මාතෘකාවක් ගැන. යම් අයුරකින් ඔබේ පරිගණකය කිසියම් කෙනෙක් සොරකම් කලොත් එය හොයාගන්න විදිය පිලිබදවයි. මෙය ඔබේ Desktop Computer එකට Laptop එකට වගේම ඔබේ smart phone එකටත් බාවිතා කරන්න පුළුවන් ක්‍රමයක්.
ඉතින් එම සේවාව කිසිදු අය කිරීමකින් තොරව ඔබට ලබාදෙන්නේ, "prey" කියන වැඩසටහන මගින්.



ඔබේ පරිගණකය සොරගත්තේ (stolen) යැයි prey වෙබ් සයිට් එකේ ඔබේ control panel එකෙහි Device Status එක සැකසුව විට ඔබේ සොරාගත් පරිගණකයේ පහත දක්වා ඇති තොරතුරු prey විසින් එකතු කරගන්නවා.

Network information. (remote and private IP addresses, gateway ip address etc)
Picture of thief (If you configure your devise web came).
Desktop screen shots.
Total up-time.
Logged user account name.
Modified files details.
Ruing programs.
Active controls.
WiFi information.
ඉතින් ඔය තොරතුරු prey වෙබ් සයිට් එකේ ඔබේ control panel එකෙන් බලාගන්න පුළුවන්.

අප්පට හුඩු හොරාගේ පින්තුරයකුත් ගන්න පුළුවන් නේද..? හෙ හේ... ඔව් ඔව්. හොරාව ගෙදරටම හොයාගෙන යන්න පුළුවන්.

ඉතින් ඔය මොන දේ කරන්නත් මුලින්ම අපිට සිදු වෙනවා, prey client වැඩ සටහන අපේ පරිගණකයේ නිවැරදිව ස්ථාපිත කරගන්න.

මුලින්ම අපි prey client එක බාගතකරගෙන පරිගණකයේ ස්ථාපිත කරගමු. ඉතින් එය ඔබේ desktop pc එක හෝ lap එක උනාට ප්‍රශ්නයක් නැහැ. ඔබට පුළුවන් prey වැඩසටහන ඔවුන්ගේ වෙබ් අඩවියෙන් බාගන්න. එය Windows, Linux , Mac, Ubuntu වගේම Android mobile OS එකටත් සරිලන ලෙස මෙන්න මෙතනින් Download කර ගන්න පුළුවන්. ඉදිරියේදී එය Nokia ජංගම දුරකථන (Symbian OS) සදහාත් එන්න නියමිතයි.

http://preyproject.com/download

download කරගත්තට පස්සේ එම වැඩසටහන ඔබේ පරිගණකයට install කරගන්න.

දැන් අපි devise client එක configure කරමු
පලවෙනි පියවර setup reporting method.
start menu එකෙහි prey icon එක ක්ලික් කලාට පසුව පහත රුපයේ පරිදි window එකක් දැකගන්න පුළුවන් ඔයාලට. එහි "setup reporting method" යන්න තෝරන්න.




Setup how to view report.
ඉහත මම කියුව පරිදි, ඔබේ පරිගණකය සොරකම් කල විට ඔබ ඔබේ සොරාගත් පරිගණකයෙන් ලැබෙන report එක ඔබට ලැබෙන්නට අවශ්‍ය විදියට රුපයේ පරිදි එම window එකෙන් හදාගන්න පුළුවන්. මම ඔබට කියන්නේ "Prey+control panel" යන්න තෝරන්න කියලා. එවිට පහසුවෙන් ඔබට ඔබේ prey control panel එකෙන් එම report එක බලන්න පුළුවන්.

Create or log in your Prey account.
පහත රුපයේ පරිදි මීලග window එකෙන් ඔබ "New User" යන්න තෝරන්න. එසේ නැතිනම් දැනටමත් ඔබ සතුව prey account එකක් ඇත්නම් "Existing user" යන්න තෝරන්න.



Give your details.
මීලග අවස්ථාවේදී ඔබට සිදු වෙනවා contact details submit කරන්න. එහිදී සත්‍ය තොරතුරු ලබාදෙන්න.

හොදයි දැන් යම් විදියකින් ඔබේ පරිගණකය යම් අයෙක් සොරාගත්තේ නම් පහත දක්වා ඇති පිලිවෙලින් අනුගමනය කරන්න.
Log in to your "Prey" account.
Go to configuration.
Set your devise status as "Stolen"
Set how often you want generate your stolen devise report minimum time is 10 minutes.
Select other settings as you want.
Click "save".
ඉතින් දැන් එම report එක සැකසී ඔබට ලැබීම සදහා ඔබට ටික වෙලාවක් රැදී සිටින්නට සිදු වෙනවා.

ඉතින් මෙතැනදී තවත් බොහොම වැදගත් කාරණයක් තියෙනවා කියන්න. ඒ තමයි මෙම prey වැඩසටහන start-up program එකක් ලෙස සකසන විදිය.

ඒ සදහා start menu හරහා ගොස් prey වැඩසටහන නැවත විවුර්ත කරගන්න. අනතුරුව පහත රූපයේ පරිදි ලැබෙන window එකෙන් "Option for execution" යන්න තෝරන්න.



පහත රූපයේ පරිදි මීලගට ලැබෙන වින්ඩෝ එකෙන් "Run as window service" යන්න තෝරන්න. ඒ වගේම එතනින් report එක ලැබෙන කාල පරාසය ත් සකසා ගන්න පුළුවන්.


එහෙනම් මේකෙ තියෙන ඔප්ෂන්ස් ගැන පුංචි හැඳින්වීමක් මම කරන්නම්

Geo – මේක තමයි වැදගත්ම එක. ඩිවයිස් එකේ තියෙන GPS මඟින් සහ ළඟම ඇති Wi-Fi සර්වරය සමඟ සම්බන්ධ වී ඔයාගේ ලැප් එක හෝ ඇන්ඩ්‍රොයිඩ් ඩිවයිස් එක නැති උන වෙලේ සිට යන එන තැන් සියල්ලක්ම ඔබට රිපෝර්ට් වෙනව.

Network – මෙමඟින් සොරාගත් පුද්ගලයා විසින් භාවිතා කරනු ලබන අන්තර්ජාල සමබඳතා, IP ලිපිනයන්, සහ එම ඩිවයිස් එක මඟින් සම්බන්ධ වන Wi-Fi Access points වල විස්තර ලබාදෙනව.

Session – මෙයත් වැදගත්. මෙමඟින් සොරාගත් උපකරණයෙන් විවිධ කාල වලදී ලබාගන්නා Screen Shots, උපකරණයේ වෙනස් කරන ලද දත්ත වල තොරතුරු සහ එම උපකරණයේ Run වෙන Programs මොනවද යන්න දැනගත හැකිය.

WebCam – හා…හා… මේ තියෙන්නෙ භාණ්ඩෙ.දැං පේන බලන්න යන්න ඕනවෙන්නෙ නෑ.මෙමඟින් ‍උපාංගය කියාත්මක කරනු ලබන අවස්‍ථාවේ සිට විටින් විට වෙබ් කැම් එක ආධාරයෙන් ස්වයංක්‍රීයව ඡායාරූප ගෙන එම ඡායරූප අප වෙත එවයි. ( උස්සපු එකා කට ඇරං දිව හපං ලැප් එකේ එව්ව මෙව්ව කොරන ෆොටෝස් ගොඩාක් එයි :පී)
මීට අමතරව තවත් වැදගත් ඔප්ෂන්ස් කීපයකුත් තියෙනව. ඒ තමයි

Alarm – හොරාට වැසිකිළී අවශ්‍යතාවය ඇතිවෙන විදියෙ වැඩක් තම මේක. විනාඩි 10න් 10ට පොලිස් සයිරන් එකක් වදිනව. හිහි සැප කනේ.ඔබට සොරා ළඟපාතක සිටීනම් සොරකම් කර විනාඩි 10ක් අතුලතදිම සොරාව අල්ලා ගැනීමට පුළුවන්.

Alert – මෙහිදී තමන්ට කැමති ඇලර්ට් එකක් මෙහි දැමීමෙන් විනාඩි 10න් 10ට සොරාගත් උපකරණයේ එය දිස්වෙනව. මේ ඇලර්ට් මැසේජ් එක කැමතිනං දාගන්ඩ
“අනේ හොරෝ,හොරා වගේ මගේ ලැප් එක අරගත්ත නේද? දෙන්නයි කිව්වෙ ඒක. :පී”
(සැ.යු : දැං ඉන්න හොරු සමහරවිට මේ සොෆ්ට්වෙයා එක ගැන දන්න නිසා ‍මේ සයිරන් එක වදිද්දි සහ මේ ඇලර්ට් එක එද්දි මෙම සො‍ෆ්ට්වෙයා එක පරිගණකයේ ඉන්ස්ටෝල් කර තිබෙන බව දැනගන්න පුළුවන්. ඒක අපිට විශාල අවාසියක් ‍වෙන්නේ ඔහු සිස්ටම් නැවත දැම්මොත් ඉන්පසු අපට තොරතුරු ලබාගැනීමට නොහැකි වෙන හිංද )

Lock – මෙමඟින් පරිඝණකය ලොක් කර දැමීමට පුළුවන්

Secure- මේක නම් ඉතාමත් වැදගත්. මෙමඟින් තම පරිඝණකයේ තිබෙන පුද්ගලික තොරතුරු, විශේෂයෙන්ම ඊමේල් ගිණූම්, වෙබ් බ්‍රව්සර් මතකයන් සොරකම් කළ පුද්ගලයා අතට යෑමට නොදී වලක්වාගත හැකියි.
මෙම මෘදුකාංගය උපයෝගී කරගත් අවස්ථාවක් නරඹන්න

prey වැඩසටහන පරිගණකයේ control panel එකෙහි add/remove programs වල නොපෙන්වන අතර තවද එම වැඩසටහන ස්ථාපිත කර තිබෙන folder එක hide කරන්නත් අමතක කරන්න එපා.

ජය !!

සැලකිය යුතුයි: - ඔබේ පරිගණකය සොරාගත් පසු ඔබ ඔබේ prey control panel එකෙන් ඔබේ පරිගණකය සොරාගෙන ඇති බවට සැකසුව පසුව සොරාගත් පරිගණකයෙන් එම විස්තර ලැබීම සදහා එය එන්තර්ජාලය සමග සම්බන්ද වී තිබිය යුතුයි.


March 5, 2014

( Eye ) Technical Faults

ඔබේ ඇසෙත් තාක්‍ෂණික දෝෂ (technical faults) තිබේ ද ???


ඇසේ දෝෂ කිව්වම අපි ඕනම කෙනෙක්ට මතක් වෙන්නෙ දුරදෘෂ්ටිකත්වය, අවිදුරදෘෂ්ටිකත්වය, ඇසේ සුද මතුවීම, වර්ණ අන්ධතාවය වගේ ඒවනෙ. ඒවා ඉතිං ඇසේ ඇතිවෙන්න පුළුවන් සාමාන්‍ය දෝෂනෙ. මේ කියන්න හදන්නෙ එහෙම දෝෂයක් ගැන නෙමෙයි. අපේ ඇස් දෙකේ ඉඳලා හිටලා ඇති වන පුංචි තාක්‍ෂණික දෝෂයක් එහෙමත් නැත්තම technical fault එකක් ගැන. (මේකට technical fault එකක් කියලා කියන්නෙ මම හො‍ඳේ )

ඔබට මොනම හෝ වෙ‍ලාවක හිතිලා තියෙනවද, මං මේ දකින දේවල් වෙන කොහෙදි හරි මේ විදියටම මම දැකලා තියෙනවනෙ කියලා. එහෙමත් නැත්තම් කොයිම වෙලාවක හරි හිතිලා තියෙනවද මේ දැන් මේ වෙලාවෙ සිද්ධ වෙන දේ මීට කලින් කොහෙදි හරි සිද්ධ වෙලා තියෙනවානෙ කියලා. තවත් විදියකට කිව්වොත් ඔබට කිසියම් මොහොතක හිතිලා තියෙනවද මේ වර්තමානය මගේ අතීත මතකයෙ කොහේ හරි තියෙනවා කියලා?

මමත් ඉඳලා හිටලා මේ අත්දැකීමට මුහුණදෙනවා. මුල දි මට හිතුණෙ කලින් දැකපු හීනයක ඇති දෙයක් අපේ සිතින් සංසන්දනය කරනවද දන්නෑ කියලා. මේ ගැන කතාබහ කරද්දි දැනගත්තා මෙහෙම වෙන්නෙ මට විතරක් නෙමෙයි ගොඩක් අයට ඉඳලා හිටලා මෙහෙම වෙනවා කියලා. මෙහිදි ඇත්තටම සිදුවෙන්නෙ මොකක්ද කියලා දැනගන්න ආස හිතිච්ච නිසා හොයලා බලද්දි දැනගන්නට ලැබුණෙ මෙන්න මේ වගේ දෙයක්.

හැමෝම දන්නවනෙ අපිට වස්තූන් පෙනෙන්නෙ යම් වස්තුවක සිට එන ආලෝක කිරණ ඇසේ කණීනිකාව තුලින් ගිහින් අක්‍ෂි කාචයෙන් දෘෂටි විතානය මත නාභිගත වෙලා දෘෂ්ටි විතානයෙන් නිපද වන සංඥා, දෘෂ්ටි ස්නායුව හරහා මොළේට ගිහාම කියලා. ඉතිං අපිට ඇස් දෙකක් තියෙන නිසා මේ ඇස් දෙකෙන්ම නිපදවන සංඥා මොළේට යනවා. ඇසේ නිවැරදි ක්‍රියාකාරීත්වයෙදී මේ ඇස් දෙකෙන් නිකුත් කරන සංඥා දෙකම තත්පරෙන් දාහෙන් පංගුවකවත් වෙනසක් නැතුව හරියටම එකම වෙලාවෙදි මොළේට යා යුතුයි. එම සංඥා දෙකේ සංකලනයෙන් අපිට වස්තූන් ත්‍රිමාණව පෙනෙන්නෙ අන්න එතකොටයි.

අර මං කිව්වනෙ සමහරවෙලාවට අපිට වර්තමානයේ සිදුවන දේ මීට පෙර සිදුවෙලා තියෙනවා වගේ හිතෙන්නෙ අපේ ඇසේ තියෙන තාක්‍ෂණික දෝෂයක් නිසා කියලා. අන්න ඒ තාක්‍ෂණික දෝෂය තමයි ඇතැම් වෙලාවට අපේ ඇස් දෙකෙන් නිකුත් කරන සංඥා දෙක මොළේට යන්නෙ පුංචි කාල අන්තරයකින් වීම. එනම් එක් ඇසකින් නිකුත් කරන සංඥාව මොළේට ගිහින් පුංචිම පුංචි කාලයකට (fraction of a second) පස්සෙ තමයි අනෙක් ඇසෙන් නිකුත් කරන සංඥාව මොළේට යන්නෙ. මෙහෙම වෙන්නෙ ගොඩක් කලාතුරකින්. මෙතනදි වෙන්නෙ මෙන්න මේකයි. මුලින් ආපු සංඥාව මොළේට ගිය ගමන් එය අපේ මතකයේ තැම්පත් වෙනවා. ඊළඟට එම සංඥාවම ආයෙමත් අනෙක් ඇසෙන් ආපුවම අපිට ඒක දැනෙන්නෙ අපේ අතීත මතකයේ තිබ්බ දෙයක් නැවත සිදුවෙනවා වගේ. ඉතිං හරිනෙ. තත්පරෙන් පංගුවකට කලින් ඒ දේම අපේ මතකයෙ තැම්පත් උනානෙ.

ඔබත් මේ අත්දැකීමට මූණ දී තිබේ නම් හෝ නොතිබේ නම් සටහනක් තබා යන්න අමතක කරන්න එපා. මෙම අත්දැකීම සෑම කෙනෙක්ටම පොදු දෙයක්ද නැත්නම් පිරිසකට පමණක් සීමා වුනු දෙයක්ද කියලා එතකොට අපිට තහවුරු කරගතහැකි. මේ සංසිද්ධිය පිළිබඳ මේ පැහැදිලි කිරීම හරියටම නිවැරදි ද කියලා නම් දන්නෙ නෑ. මේ ගැන වැඩිදුර දන්නවනම් ඒ පිළිබඳව අපවත් දැනුවත් කරන්න. මෙම සංසිද්ධියේ වෛද්‍ය විද්‍යාත්මක නාමය හා වෛද්‍ය විද්‍යාත්මක පැහැදිලි කිරීමක් කාට හෝ ඉදිරිපත් කරන්න පුළුවන් නම් එය හැමෝන්ටම ප්‍රයෝජනවත් වේවි.


ගේ බ්ලොගයකින් උපුටා ගන්නා ලදි.

ebay Tax

eBay සම්බන්ධ TAX පිළිබඳ ගැටළු සහ Mobile Phones, GPS ගෙන්වීම පිළිබඳ ගැටළු





eBay ගැන කතාකරද්දී කට්ටියට බය තියෙන්නෙ ඔය අන්තර්ජාලය හරහා ඇණවුම් කරන භාණ්ඩ අපේ ගෙදරටම, අපේ අතටම ලැබෙයිද නැත්තං වියදම් කරපු සල්ලි ටික නාස්ති වෙයිද කියන එක ගැන විතරයි කියලා. ඉතිං කොහොමහරි මං ඒ වෙද්දි eBay වෙතින් ගෙන්වලා තිබුණු භාණ්ඩ ආපු ලියුම්කවර වල සේයාරුවක් එහෙම දාලා ඒ බය නැති කළා. මෙන්ම බොලේ ඒ පාර දැන් කට්ට‍ය ආයෙමත් සැරයක් බය වෙලා TAX වලට. හුඟ දෙනෙක් ප්‍රතිචාර එක් කරනවා, පණිවිඩ එවනවා මේක ගත්තොත් කොච්චර tax වදීද අරක ගත්තොත් කොච්චර tax වදීද කියලා. ඉතිං මං හිතුවා මේ tax ගැන තියෙන ඔය බොරු බය නැති කරන්නත් දැන් කාලෙ හරි කියලා.

මුලින්ම කියන්නෝන තාම මේ‍ වෙනකල් මට නම් කවදාවත් eBay වෙතින් භාණ්ඩ ගෙන්වලා tax ගෙවන්න වෙලා නෑ. හැබැයි ඒකට හේතුව මං ඔය ලොකු ලොකු ගණන්වල භාණ්ඩ නොගෙන්වීම වෙන්න පුළුවන්. මේ වෙනකොට eBay වෙතින් පොඩි පොඩි භාණ්ඩ 100කට වඩා ගෙනවලා ඇති, හැබැයි ඒ එකක්වත් $60 ට වඩා වැඩි නෑ. ගෙන්වපු වැඩිම එක $53.88 යි. මේ තියෙන්නෙ ඒක. Box එකත් එක්කමයි ආවෙ. Tax නං වැදුන්නෑ, ලියුම් මාමා ගෙදරටම ගෙනත් දුන්නා.


(RAM එකක් ළඟින් තියලා තියෙන්නෙ box එකේ size එක ගැන අවබෝධයක් ගන්න හොඳේ.
නැතුව මේ පෙට්ටියෙ ආවෙ RAM එකක් නෙමෙයි. )

ඉතිං ඒ නිසා tax ගෙවීම පිළිබඳව පෞද්ගලිකව මට නම් අත්දැකීම් නෑ. ඒ නිසා අද මේ ලියන දේවල් වලට පදනම් වෙන්නෙ eBay වෙතින් ගෙන්වපු නොයෙක්විදියෙ භාණ්ඩ සඳහා tax ගෙවලා අත්දැකීම් බහුල ලෝහිත නම් සොයුරා අපගේ පසුගිය eBay ලිපි සඳහා ප්‍රතිචාර එක්කරමින් අප සමඟ බෙදාගත් අත්දැකීම් සහ තොරතුරුයි. ඉතිං ඒ තොරතුරු සැපයීම පිළිබඳ සම්පූර්ණ ගෞරවය ධනික සහ ලෝහිත සොයුරා හට හිමි විය යුතුයි. ඒ වෙනුවෙන් ඔහු‍ට මාගේ අවංක ස්තූතියත් පිරිනමන්න කැමතියි.

දැන් අපි අපිට eBay සම්බන්ධව Tax පිළිබඳ තිබෙන ගැටළු සහ eBay වෙතින් ජංගම දුරකථන, GPS උපකරණ ගෙන්වීම පිළිබඳ තිබෙන ගැටළු එකින් එක සාකච්ඡා කරමු.


eBay වෙතින් ගෙන්වන සෑම භාණ්ඩයකටම අපිට තීරු බදු (tax) ගෙවීමට සිදුවෙනවද?
කොහෙත්ම නැහැ. බදු ගෙවිය යුත්තේ ඇතැම් භාණ්ඩ සඳහා පමණයි.

තීරු බදු නොගෙවා අපිට භාණ්ඩ ලැබෙන්නෙ කොහොමද?
eBay වෙතින් ඔබ ගෙන්වන සෑම භාණ්ඩයක් සමඟම Customs Declaration නමින් තොරතුරු කීපයක් seller විසින් සැපයෙනවා.
(මේ තොරතුරු බොහෝවිට මුද්‍රණය කර තිබෙන්නෙ ඔබට භාණ්ඩය ලැබෙන ලියුම් කවරයෙයි.)

මේ තොරතුරු වැදගත් වෙන්නෙ භාණ්ඩය අපේ රටට ආ පසු එය අපේ රේගුවෙන් නිදහස් කිරීමට. බොහෝ sellersලා මෙම Customs Declaration එකෙහි ඔබේ භාණ්ඩය නම් කරන්නෙ Gift Item එකක් හෝ Commercial Sample එකක් ලෙස. මේ නිසා බොහෝවිට ඔබෙන් බදු අයවීමක් සිදුවන්නෙ නෑ. නමුත් එලෙස නම් කර තිබුණත් භාණ්ඩයේ ප්‍රමාණය සහ වටිනාකම මත ඇතැම් විට බදු ගෙවීමට සිදුවෙන්න පුළුවන්.


භාණ්ඩයක් ලැබුණු ලියුම් කවරයක මුද්‍රණය කර ඇති Customs Declaration එකක්

බදු අයවෙන්නෙ මොන වගේ භාණ්ඩ වලටද?
සාමාන්‍යයෙන් වටිනාකමින් වැඩි භාණ්ඩ සහ ප්‍රමාණයෙන් විශාල භාණ්ඩ සඳහා බදු අයවීමට ඇති ඉඩ කඩ වැඩියි. නමුත් එය භාණ්ඩයෙන් භාණ්ඩයට වෙනස්. ප්‍රමාණයෙන් ඉතා කුඩා භාණ්ඩ (Processor වැනි) වටිනාකමින් වැඩි උනත් බදු ගෙවීමට සිදුනොවෙන්න පුළුවන්. එමෙන්ම ප්‍රමාණයෙන් විශාල භාණ්ඩ (Laptop Backpack වැනි) වටිනාකමින් කුඩා නම් ඒත් බදු අය‍ නොවෙන්න පුළුවන්. නමුත් මෙන්න මේ මේ භාණ්ඩ වලට අනිවාර්යයෙන්ම බදු අයවෙනවා යයි හරියටම පැවසීමට අපහසුයි.

බදු ගෙවන්න සිදු වුනොත් බදු ලෙස කොපමණ මුදලක් ගෙවිය යුතුද?

මෙය භාණ්ඩයෙන් භාණ්ඩයට වෙනස්. එක් එක් භාණ්ඩය සඳහා ආනයන බදු තීරණය වෙන්නෙ රජය විසින් ඒ ඒ භාණ්ඩ සඳහා පනවා ඇති බදු අනුවයි. එක් එක් භාණ්ඩ සඳහා රජය විසින් පනවා ඇති ආනයන බදු,‍ රේගු වෙබ් අඩිවය හරහා ඔබට මෙතැනින් දැක බලා ගැනීමටත්, මෙතැනින් බාගත කරගැනීමටත් පුළුවන්. කෙසේ හෝ මෑතකදි රජය විසින් ඉලෙක්ට්‍රොනික භාණ්ඩ සඳහා ආනයන බදු අඩු කිරීමනම් eBay වෙතින් භාණ්ඩ ගෙන්වන අපි කාටත් වාසියක්.

බදු ගෙවන්න සිදු වුනොත් අපි බදු ගෙවන්න ඕනා‍ කොතැනටද?



මෙය තීරණය වෙන්නෙ අපිට භාණ්ඩය ලැබෙන ප්‍රවාහන සේවාව අනුව. අප වෙත භාණ්ඩය ලැබෙන්නෙ සාමාන්‍ය තැපෑලෙන් නම් බොහෝවිට භාණ්ඩය අපේ තැපැල් කාර්යාලය දක්වාම එනවා. එවිට අපි අපේ තැපැල් කාර්යාලයට ගොස් බදු ගෙවා භාණ්ඩය ලබාගත යුතුයි. අප වෙත භාණ්ඩය ලැබෙන්නෙ FedEx, UPS, TNT හෝ DHL වැනි ප්‍රවාහන සේවාවකින් නම් බොහෝ විට භාණ්ඩය ඔවුන්ගේ මෙරට කාර්යාලයක නතර වෙනවා. එවිට අප ගොස් බදු ගෙවිය යුත්තේ ඔවුන්ගෙ එම කාර්යාල වලටයි.

භාණ්ඩය තැපැල් කාර්යාලයේ හෝ ප්‍රවාහන සේවා කාර්යාලයකට පැමිණ නතර වී ඇති බව අපි දැනගන්නෙ කොහොමද?
ඒ පිළිබඳ අපිට තැපෑලෙන් ලිපියක් ලැබෙනවා. භාණ්ඩය ලබා ගැනීමට පැමිණිය යුතු තැන සහ පිරවීමට අවශ්‍ය ලියකියවිලි එම ලිපිය සමඟ අපිට ලැබෙනවා. එවිට අප කළ යුත්තේ එම අදාළ ලියකියවිලි පුරවාගෙන අදාළ තැනට ගොස් බදු මුදල ගෙවා භාණ්ඩය ලබාගැනීමයි.

බදු ගෙවන්න සිදු වුනොත් අපිට පාඩු ලබන්න වෙයිද?
ඔබ දැනටමත් දන්නවා ඇති eBay හී ඇති බොහෝ භාණ්ඩ (විශේෂයෙන් ඉලෙක්ට්‍රොනික භාණ්ඩ) වල මිල මෙරට මිලට වඩා ඉතා අඩු බව. ඉතිං අපිට යම් භාණ්ඩයකට බදු ගෙවීමට සිදු වුනත් බොහෝවිට ඒ බදු මුදල ගෙවීමෙන් පසුත්, භාණ්ඩය සඳහා වියදම් වුනු මුළු මුදල මෙරට මිලට වඩා අඩුයි. ඒ නිසා අපිට පාඩුවක් සිදුවීමට ඇති ඉඩකඩ ඉතාම අඩුයි.

eBay වෙතින් අපිට ජංගම දුරකථන (Mobile Phones) සහ GPS උපකරණ ගෙන්විය හැකිද?
පුළුවන්. eBay වෙතින් අපිට ඕනෑම භාණ්ඩයක් ගෙන්වන්න පුළුවන්.

ජංගම දුරකථන සහ GPS උපකරණ ගෙන්වූ විට ඒ සඳහා TRC වෙතින් අනුමැතිය ගැනීම අත්‍යවශ්‍යද?
ඔව්. ජංගම දුරකථන සහ GPS උපකරණ යනු සන්නිවේදන උපකරණ වර්ග දෙකක්. එම නිසා මෙරටට ගෙන්වන සියලු සන්නිවේදන උපකරණ ගැන අප රටේ විදුලිසංදේශ නියාමන කොමිෂන් සභාව (TRC) දැනුවත් විය යුතුයි. මේ නිසා අපි ගෙන්වන එවන් සන්නිවේදන උපකරණ සඳහා විදුලිසංදේශන නියාමන කොමිෂන් සභාවේ අනුමැතිය අනිවාර්යයෙන් ලබා ගත යුතුයි. (GPS උපකරණ සඳහා ඇතැම්විට ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය ලබාගැනීමටද සිදුවීමට පුළුවන්.)

TRC වෙතින් අනුමැතිය ලබාගන්නෙ කොහොමද?
මේ සඳහා ඔබ නාරාහෙන්පිට ඇති විදුලිසංදේශන නියාමන කොමිෂව් සභාවට යා යුතුයි. එහි ගොස් අදාළ පත්‍රිකා පුරවා භාරදීමෙන් විනාඩි 15ක් 20ක් වැනි සුළු කාලයක් ඇතුලත ඔබ‍ට එම අනුමැතිය ලබාගත හැකියි.


ඉතිං ඔන්න අදට අවසානයි. මං හිතනවා ඔන්න දැන් කට්ටියගෙ tax ගැන තිබ්බ බයත් නැති වෙන්න ඇති කියලා. අපි බය වෙවී හිටියොත් කවදාවත් අපිට මේවයින් ඵල ප්‍රයෝජනයක් ලබාගන්න බෑ. ඒ නිසා ඔය තියෙන බිය සැක සංකා ඔක්කොම දුරු කරගෙන eBay සමඟ හිතේ හැටිය‍ට ගණුදෙනු කරන්න. මේ ගැන ප්‍රශ්න එහෙම තියෙනවනම් අහන්න අමතක කරන්නත් එපා.
තව අලුත් ආරංචියක්. සම්පත් Webcard එකට අමතරව ඔන්න දැන් අපිට අන්තර්ජාලීය ගණුදෙනු කරන්න පුළුවන් තවත් Debit Card එකක් ඇවිල්ලා. ඒ තමයි HNB Visa International Debit Card එක.


ඔබට ආයුබෝවන්!

ජයෙන් ජය!!!




ධනිකගේ ලිපි මාලාවකින් උපුටා ගන්නා ලදි.

පිටකොටුව ගමට ගෙනියමු

  පිටකොටුව ගමට ගෙනියමු මෙන්න Online වෙළෙඳපොලේ අලුත්ම පෙරළිය..  ********* 2021 Life එක ගොඩ දාගන්න එන්න  100% ශ්‍රී ලාංකික ආයතනයක් වන Pitakotu...