July 2, 2014

Data Transmitions - දත්ත සන්නිවේදනය

දත්ත සන්නිවේදනය

Communication (www.isawwalanka.com)

දත්ත සන්නිවේදනය ගැන කතා කරන්නයි අපි මේ ලෑස්ති වෙන්නෙ. අපිට තව බොහොම ටිකයි කතා කරන්න තියෙන්නෙ GIT වල.

මුලින්ම බලමු සන්නිවේදනය කියන්නෙ මොකද්ද කියල. එක තැනක ඉඳල තව තැනකට තොරතුරු යවන එකට තමයි සන්නිවේදනය කියන්නෙ. එහෙම තොරතුරු යවන මාර්ගයට මාධ්‍යය කියල කියනවා. එතකොට දත්ත එක තැනක ඉඳල තව තැනකට යවන එකට තමයි දත්ත සන්නිවේදනය කියන්නෙ. උදාහරණයක් විදිහට යතුරු පුවරුවේ යතුරක් එබුවම එ් සංඥාව යතුරු පුව‍රුවේ කේබල් එක හරහා පරිගණකයට අරගෙන යාම දක්වන්න පුළුවන්. ඒක එහෙම සම්ප්‍රේෂණය වෙන්නෙ සංඥාවක් විදිහට.

දත්ත සම්ප්‍රේෂණය කියන්නෙ සන්නිවේදන මාධ්‍යයක උදව්වෙන් තැන් දෙකක් අතර දත්ත හුවමාරු වෙනවට.

ඔය සංඥාත් වර්ග 2 ක් තියෙනවා. මේ පින්තූරෙ බලන්නකො.
Waves (www.isawwalanka.com)

Analog Signals (ප්‍රතිසම සංඥා)

උඩින් තියෙන රූපෙ යටින් තියෙන්නෙ මේ කියන සංඥාවක්. අපිට සාමාන්‍ය ජීවිතේදි හම්බ වෙන්නෙ මේ සංඥා තමයි. දුරකථන රැහැනකින් කථනය සම්ප්‍රේෂණය උදාහරණයක් විදිහට දක්වන්න පුළුවන්. මේ සංඥාවල තීව්‍රතාව කාලයත් එක්ක සුමටව වෙනස් වෙනවා.

Digital Signals (ද්විමය සංඥා)

පරිගණක වල භාෂාව මේකයි. මේ සංඥා වලට අවස්ථා 2 යි තියෙන්නෙ. උදාහරණ විදිහට ON - OFF, 0 - 1 දක්වන්න පුළුවන්. තීව්‍රතාව ක්ෂණිකව වෙනස් වෙනවා. පරිගණකය හරහා කථනය සිද්ධ වෙන්නෙ මේ සංඥා වලින්.

සම්ප්‍රේෂණ මාධ්‍ය


දැන් තමයි පාඩමේ නියම මාතෘකාවට ආවෙ. එක තැනක ඉඳල තව තැනකට සංඥා ගෙනියන දේවල් සම්ප්‍රේෂණ මාධ්‍ය කියල කියන්න පුළුවන්. මේවත් වර්ග 2 ක් තියෙනවා.
  • Guided Media (බැඳුණු මාධ්‍ය)
  • Unguided Media (නොබැඳුණු මාධ්‍ය)

සම්ප්‍රේෂණ මාධ්‍යය භෞතිකව, ඇහැට පේන විදිහට තියෙනව නම් ඒක බැඳුණු මාධ්‍යයක් වෙනවා. දත්ත සම්ප්‍රේෂණය කරන කම්බි, වයර් එහෙම මේ වර්ගයටයි අයිති වෙන්නෙ. සම්ප්‍රේෂණ මාධ්‍යය භෞතිකව ඇහැට පේන්නෙ නැත්නම් ඒක නොබැඳුණු මාධ්‍යයක් වෙනවා. ක්ෂුද්‍ර තරංග, ඉලෙක්ට්‍රොනික තරංග මේවට අයිති වෙනවා.

Guided Media (බැඳුණු මාධ්‍ය)


මේව භෞතික මාර්ගවල දත්ත අරන් යනව කියල කලිනුත් කිව්වනෙ. උදාහරණයක් විදිහට රූපවාහිනී ඇන්ටනාවක ඉඳලා රූපවාහිනියට සංඥා අරන් එන වයර් එක ගන්න පුළුවන්. බැඳුණු මාධ්‍ය කිව්වොත් තියෙන්නෙ වයර් තමයි. අපි ඒවට රැහැන් කියමු. දත්ත සම්ප්‍රේෂණයට රැහැන් වර්ග 3 ක් යොදා ගන්නවා.

1) Twisted Pair Cables (ඇඹරි යුගල රැහැන්)

ඇඹරි යුගලයක් කියන්නෙ එකිනෙක වටේ ඇඹරුනු කම්බි දෙකකට. මේ රැහැන් ඇතුළෙ තියෙන්නෙ මේ කියන ඇඹරි යුගල්. LAN ජාලකරණයෙදි මේ රැහැන් වැඩි වශයෙන් පාවිච්චි කරනවා. මේවත් ආවරණය කළ නොකළ කියල වර්ග දෙකක් තියෙනවා. මෙතනදි ආවරණය කියන්නෙ රැහැනෙ බාහිර ආවරණයට නම් නෙවෙයි. රැහැන ඇතුළෙ තියෙන එක එක ඇඹරි යුගල ආවරණය කරල තියෙනවට.

ඇඹරි යුගල රැහැන් භාවිතයේ වාසි
  • මිල අඩුයි. 
  • පවතින දුරකථන පද්ධතියේ ඇති නිසා ජාලකරණය පහසුයි. 
  • හොඳින් පරීක්ෂා කරල තියෙනවා. 
  • ලබා ගැනීම පහසුයි. 

 ඇඹරි යුගල රැහැන් භාවිතයේ අවාසි
  • ගුවන් විදුලි සංඛ්‍යාත වලට (RFI) වගේම විද්‍යුත් චුම්බක තරංග (EMI) වලටත් සංවේදී නිසා සංඥා සම්ප්‍රේෂණයට බාධා වෙන්න පුළුවන්. 
  • කල් පැවැත්ම අඩුයි. 
  • අනෙක් මාධ්‍ය වලට වගේ ඉහළ දත්ත සම්ප්‍රේෂණ වේගයක් මේවට නෑ.

මේ ආවරණය නොකළ ඇඹරි යුගල රැහැනක් (UTP - Unshielded Twisted Pair Cable).
UTP (www.isawwalanka.com)

UTP (www.isawwalanka.com)

මේ ආවරණය කළ ඇඹරි යුගල රැහැනක් (STP - Shielded Twisted Pair Cable).
STP (www.isawwalanka.com)

STP (www.isawwalanka.com)

මේ රැහැන් පරිගණක වලට සම්බන්ධ කරන්න පාවිච්චි කරන්නෙ RJ-45 කියන සම්බන්ධක වර්ගය කියලත් මතක තියා ගන්න. මේවයෙ තියෙන්නෙ ගේජ් 24 (24 AWG) මහත කම්බි කියලත් මතක තියා ගන්න.

2) Co - Axial Cables (සමාක්ෂ රැහැන්)


මේවට සමාක්ෂ රැහැන් කියන්නෙ ඇතුළෙ තියෙන සන්නායක දෙකටම එක පොදු අක්ෂයක් තියෙන නිසා. පිට තියෙන සන්නායකය කම්බි දැලක් විදිහට තියෙන්නෙ. ඇතු‍ලෙන් තියෙන්නෙ එක කම්බියක් විතරයි. ඒ දෙක අතරෙ ඝනකම ප්ලාස්ටික ආවරණයක් තියෙනවා. අපේ ගෙවල් වල තියෙන රූපවාහිනියයි ඇන්ටනාවයි සම්බන්ධ කරන්නෙ මේ රැහැන් වර්ගයෙන්.

සමාක්ෂ රැහැන් භාවිතයේ වාසි
  • ගුවන් විදුලි සංඛ්‍යාත වලට (RFI) වගේම විද්‍යුත් චුම්බක තරංග (EMI) වලට සංවේදී බව අඩු නිසා සම්ප්‍රේෂණයෙදි සංඥා වලට බාධා වීම අඩුයි. 
  • ඇඹරි යුගල රැහැන් වලට වඩා කාලයක් පවතිනවා. 
  • ඇඹරි යුගල රැහැන් වලට වඩා දත්ත සම්ප්‍රේෂණ වේගය වැඩියි.
 
සමාක්ෂ රැහැන් භාවිතයේ අවාසි
  • ප්‍රබල ගුවන් විදුලි සංඛ්‍යාත වලින් (RFI) වගේම විද්‍යුත් චුම්බක තරංග (EMI) වලින් සංඥා සම්ප්‍රේෂණයට බාධා වෙන්න පුළුවන්. 
  • ඇඹරි යුගල රැහැන් වලට වඩා මිල වැඩියි. 
  • ඇඹරි යුගල රැහැන් වලට වඩා විශාලත්වයෙන් ව‍ගේම දැඩි බවෙනුත් වැඩියි.

Co - Axial Cables (www.isawwalanka.com)

3) Fiber Optic Cables (ප්‍රකාශ තන්තු රැහැන්)

මේවයෙ නම් ලෝහ කම්බි නෑ. තියෙන්නෙ වීදුරු හෝ ප්ලාස්ටික් තන්තු. මේ තන්තු සිය ගානක් එක රැහැනක තියෙනවා. මේවයින් ආලෝක තරංග විදිහට තමයි දත්ත සම්ප්‍රේෂණය කරන්නෙ.
Fiber Optic Cable (www.isawwalanka.com)

ප්‍රකාශ තන්තු රැහැන් භාවිතයේ වාසි
  • අධික ලෙස ආරක්ෂිතයි. 
  • ගුවන් විදුලි සංඛ්‍යාත වලින් (RFI) වගේම විද්‍යුත් චුම්බක තරංග (EMI) වලින් සම්ප්‍රේෂණයෙදි සංඥා වලට බාධා වෙන්නෙ නෑ. 
  • කල් පැවැත්ම ගොඩක් වැඩියි. 
  • දත්ත සම්ප්‍රේෂණ වේගය ගොඩක්ම වැඩියි.

ප්‍රකාශ තන්තු රැහැන් භාවිතයේ අවාසි
  • මිල අධිකයි. 
  • නිර්මාණය සංකීර්ණයි. 
  • මේවා පාවිච්චි කරල ජාලයක් හදද්දි රැහැන් සම්බන්ධ කරන්න විශේෂ උපකරණ හා ක්‍රම පාවිච්චි කරන්න වෙනවා.

ඔන්න අපි ඇහැට පේන සම්ප්‍රේෂණ මාධ්‍ය ගැන කතා කළා. දැන් ඇහැට නොපෙනෙන සම්ප්‍රේෂණ මාධ්‍ය ගැන කතා කරමු.

Unguided Media (නොබැඳුණු මාධ්‍ය)


රැහැන් නැතුව දත්ත සම්ප්‍රේෂණය කරන මාධ්‍ය තමයි මේ විදිහට හඳුන්වන්නෙ. මහා පරිමාණයේ ජාලකරණ වලදි මේ මාධ්‍ය වැඩිපුර පාවිච්චි කරනවා. ගුවන් විදුලි තරංග සම්ප්‍රේෂණය උදාහරණයක් විදිහට කියන්න පුළුවන්. මේවත් වර්ග කිහිපයක් තියෙනවා. ඒව ඒ තරම් විස්තර කරන්න ඕන නෑ.
  • ගුවන් විදුලි සම්ප්‍රේෂණය - වේගය වගේම මිලත් අඩුයි. බිත්ති, බිම, සීලිම වගේ දේවල් විනිවිද යන්න පුළුවන්.
  • අධෝරක්ත සම්ප්‍රේෂණය - වේගය වැඩියි. රූපවාහිනී, DVD ප්ලේයර් වගේ ඒවයෙ දුරස්ථ පාලක වල (Remote Controls) පාවිච්චි වෙනවා. 
  • ක්ෂුද්‍ර තරංග සම්ප්‍රේෂණය - සරල රේඛීය මාර්ග වල විතරයි දත්ත සම්ප්‍රේෂණය කරන්න පුළුවන්. මිනිසුන්ට වගේම මේ තරංග සතුන්ටත් අහිතකරයි. 
  • චන්ද්‍රිකා සම්ප්‍රේෂණය - බොහෝ ඈතට දත්ත සම්ප්‍රේෂණය කරන්න පාවිච්චි කරනවා. ඒ හින්දා මේ සම්ප්‍රේෂණයෙදි දත්ත ප්‍රචාරණය ප්‍රමාද වෙන්න පුළුවන්.

    Writer -
    Umayanga Madushan

1 comment:

  1. ඇත්තටම මේ නෝට්ස් ගොඩාක් වටිනවා... දිගටම මේ වැඩේ කරගෙන යන්න. Good luck

    ReplyDelete

පිටකොටුව ගමට ගෙනියමු

  පිටකොටුව ගමට ගෙනියමු මෙන්න Online වෙළෙඳපොලේ අලුත්ම පෙරළිය..  ********* 2021 Life එක ගොඩ දාගන්න එන්න  100% ශ්‍රී ලාංකික ආයතනයක් වන Pitakotu...