|| Nimthera || නිම්තෙර ....

|| Nimthera || නිම්තෙර ....

FB Like Tab

July 2, 2014

Software Analysis - GIT මෘදුකාංග වර්ගීකරණය

Share this Post Share to Facebook Share to Twitter Email This Pin This

GIT මෘදුකාංග වර්ගීකරණය


Open Source Software (www.isawwalanka.com)



අද අපි කතා කරන්නෙ GIT වල පොඩි කොටසක් ගැන. ඒ තමයි මෘදුකාංග වර්ගීකරණය. මේකට පරිගණක වර්ගීකරණය වගේ පෝස්ට් දෙක තුනක් දාන්න ඕනෙ නෑ. මේකෙන්ම ඉවර කරන්න පුළුවන්. හැබැයි අපි මේ ගැන කතා කරන්නෙ වෙනදා වර්ගීකරණ ගැන කතා කරපු විදිහට නෙවෙයි. මුලින්ම මේ ගැලීම් සටහන බලන්න.

පරිගණක මෘදුකාංග කියන්නෙ පරිගණකයක විශේෂ කාර්යයක් ඉටු කරන්න අවශ්‍ය වෙන ක්‍රමලේඛ එකතුවකට.
Software Classification (www.isawwalanka.com)

O/L ICT වලදි නම් මේ වර්ගීකරණය මීට වඩා සංකීර්ණයි. මේක ගොඩක් සරල කරපු වර්ගීකරණයක්. මේ පෙන්නල තියෙන විදිහටම මෘදුකාංග ප්‍රධාන කොටස් 2 කට බෙදෙනවා.

  • System Software (පද්ධති මෘදුකාංග) 
  • Application Software (යෙදුම් මෘදුකාංග)

System Software (පද්ධති මෘදුකාංග)


Application Software (යෙදුම් මෘදුකාංග) වලට ක්‍රියා කරන්න පුළුවන් වෙන විදිහට පරිගණකයේ දෘඩාංග කලමණාකරණය කරල දෙන මෘදුකාංග වලට පද්ධති මෘදුකාංග කියල කියනවා. මේ පද්ධති මෘදුකාංග විදුලි බලය විසන්ධි කළාම මැකෙන්නෙ නැති විදිහට දෘඩාංග වලට ඇතුළත් කළාම ඒවා ස්ථිරාංග විදිහට හඳුන්වනවා. මව්පුවරුවේ ගබඩා කරල තියෙන BIOS (Basic Input Output System) ඒකට හොඳම උදාහරණයක්.

පද්ධති මෘදුකාංග වල ප්‍රධාන කොටස් 2 ක් අපි GIT වලදි කතා කරනවා.

  • Operating Systems (මෙහෙයුම් පද්ධති)
  • Utility Programs (උපයෝගීතා ක්‍රමලේඛ)

Operating Systems (මෙහෙයුම් පද්ධති)


පරිගණකය හා පරිගණකය පරිශීලනය කරන්නා (user) අතර සන්නිවේදනයෙදි අතුරු මුහුණතක් (interface) විදිහට මෙහෙයුම් පද්ධති ක්‍රියා කරනවා. ඒ කියන්නෙ මෙහෙයුම් පද්ධති ඈත ඉන්න දෙන්නෙක්ට කතා කරන්න උදව් වෙන ජංගම දුරකථන දෙකක් වගේ. මෙහෙයුම් පද්ධති ක්‍රියාත්මක වෙන අතුරුමුහුණත් වර්ග 2 ක් තියෙනවා.

1. CLI - Command Line Interface (විධාන පේළි අතුරුමුහුණත)

CLI (www.isawwalanka.com)


මේ අතුරුමුහුණතේදි පරිගණකයට විධාන දෙන්න පුළුවන් ටයිප් කරලා විතරයි. මේ අතුරුමුහුණතින් වැඩ කරන මෙහෙයුම් පද්ධති වලට උදාහරණ පහළින් දාල තියෙනවා.

  • DOS (Disk Operating System)
  • Unix

2. GUI - Graphical User Interface (චිත්‍රක පරිශීලක අතුරුමුහුණත)

GUI (www.isawwalanka.com)

අකුරු වෙනුවට චිත්‍රක (window, icons, mouse pointer) පාවිච්චි කරල පරිගණකයට විධාන දෙන අතුරුමුහුණත් මේ විදිහට හඳුන්වනවා. ආදාන උපාංග විදිහට යතුරු පුවරුව‍ට අමතරව මූසිකයත් පාවිච්චි කරනවා. පාවිච්චි කරන්න ගොඩක් පහසු නිසා මේ අතුරුමුහුණත පරිශීලක මිත්‍ර (User Friendly) අතුරුමුහුණතක් කියලත් කියන්න පුළුවන්. උදාහරණ පහළින් තියෙනවා.

  • Windows XP
  • Windows Vista 
  • Windows 7 
  • Windows 8 
  • Mac OS 
  • Fedora
  • Ubuntu

මෙහෙයුම් පද්ධතියක් නැතුව පරිගණකයක වෙන කිසිම මෘදුකාංගයක් ක්‍රියාත්මක වෙන්නෙ නෑ. පරිගණකයේ දෘඩාංග ක්‍රියාත්මක කරන්නත් මෙහෙයුම් පද්ධතිය අනිවාර්යයෙන් ඕන කරනවා. ඒ වගේම පරිගණකයක් ක්‍රියාත්මක කළාම මුලින්ම ඒකෙ මතකයට ප්‍රවේශ වෙන්නෙ ඒ පරිගණකයෙ පිහිටුවල තියෙන මෙහෙයුම් පද්ධතිය.
මෙහෙයුම් පද්ධතියේ ප්‍රධාන කාර්යයන් කිහිපයක් මේ විදිහ‍ට දක්වන්න පුළුවන්.

  • යතුරු පුවරුවෙන් ලැබෙන ආදාන හඳුනා ගැනීම. 
  • මොනිටරයට ප්‍රතිදාන යැවීම. 
  • ඩිස්ක වල ඇති ගොනු (files) හා නාමාවලි (directories) ගැන විමසිලිමත් වීම. 
  • ඩිස්ක ධාවක හා මුද්‍රණ යන්ත්‍ර වැනි උපාංග පාලනය කිරීම. 
  • මෙහෙයුම් සම්බන්ධව හා දෝෂ සම්බන්ධව පරිශීලකයාට පණිවුඩ යැවීම.

Utility Programs (උපයෝගීතා ක්‍රමලේඛ)


පරිගණකයේ උපාංග කලමණාකරණය කරන්න වගේම නඩත්තු කරන්න උදව් වෙන මෘදුකාංග මේ නමින් හඳුන්වනවා. පරිගණකයේ කාර්යක්ෂමතාව වැඩි කරන්නත් මේ මෘදුකාංග උදව් වෙනවා. උදාහරණ ටිකක් මේ විදිහට දක්වන්න පුළුවන්.

  • Backup Software (උපස්ථ මෘදුකාංග) 
  • Disk Defragmenter (ඩිස්ක විභාගීකාරකය) 
  • Scan Disk (ඩිස්ක සුපිරික්සීම) 
  • Device Drivers (උපක්‍රම ධාවක)
  • Virus Guards (වෛරස ආරක්ෂණ මෘදුකාංග) 
  • Programming Tools (ක්‍රමලේඛන මෙවලම්) 
  • Compiler (සම්පාදකය)
  • Assembler (එසෙම්බලරය)

Application Software (යෙදුම් මෘදුකාංග)


යම් විශේෂ කාර්යයක් හෝ කාර්යයන් කිහිපයක් කරන්න පරිශීලකයාට අවස්ථාව ලබාදෙන මෘදුකාංග මේ නමින් හඳුන්වනවා. ව්‍යාපාරික, අධ්‍යාපනික මෘදුකාංග වගේම පරිගණක ක්‍රීඩා අයිති වෙන්නෙත් මේ මෘදුකාංග වලටම තමයි. මේවත් ප්‍රධාන වර්ග 2 කට බෙදන්න පුළුවන්.

  • Tailor Made Software (විශේෂ කාර්ය මෘදුකාංග) - පුද්ගලයෙකුගේ හෝ ව්‍යාපාරයක අවශ්‍යතාව මත විශේෂයෙන් සකසාගත් මෘදුකාංග
  • Packaged Software (මෘදුකාංග පැකේජ) - මිලට ගත හැකි ඇසුරුම්ගත මෘදුකාංග

මේ මෘදුකාංග වලට නම් උදාහරණ ඕන තරම් දෙන්න පුළුවන්. ඒ නිසාම උදාහරණ ටික වර්ග කරල දෙන්නම්. අනිවාර්යයෙන් මෙතනින් නම් අඩුම තරමින් එක ප්‍රශ්නයක්වත් එනවා.

  • Word Processing Software (වදන් සැකසුම් මෘදුකාංග) - OpenOffice.org Writer, Microsoft Office Word
  • Database Management System (දත්ත සමුදාය කලමණාකරණ පද්ධති) - OpenOffice.org Base, Microsoft Office Access, Oracle, MySQL 
  • Presentation Software (ඉදිරිපත් කිරීමේ/සමර්පන මෘදුකාංග) - OpenOffice.org Impress, Microsoft Office Power Point 
  • Spreadsheet Software (පැතුරුම්පත් මෘදුකාංග) - OpenOffice.org Calc, Microsoft Office Excel 
  • Graphic Design Software (චිත්‍රක සැකසුම් මෘදුකාංග) - Adobe Photoshop, 3D Studio Max, GIMP, Poser, Inkspace
  • Desktop Publishing [DTP] Software (පරිගණක ප්‍රකාශන මෘදුකාංග) - Pagemaker, Corel Draw, Scribus
  • Computer Aided Design (CAD) Software (පරිගණක සහායික සැලසුම් මෘදුකාංග) - AutoCAD, CADSTD

මෙතනදිම කියන්නම් Open Source (විවෘත ධාරක) මෘදුකාංග ගැනත්. මේ මෘදුකාංග සල්ලි ගෙවල ගන්න ඕන නෑ. දැන් හිතනව ඇති අපි මොන මෘදුකාංගෙද මෙච්චර කාලෙකට සල්ලි දීල ගත්තෙ කියලා. ඒ කරන්නෙ සල්ලි දීල ගන්න මෘදුකාංග හොරට පාවිච්චි කරන එකනෙ. මේ මෘදුකාංග වල‍ට උදාහරණ ටිකක් තමයි මේ.

  • Ubuntu Operating System
  • Open Office 
  • Filezilla 
  • Open SUSE 
  • Mozilla Firefox
  • Linux Operating System 
  • Pidgin Instant Messenger

අම්මෝ පෝස්ට් එක දික් වෙච්ච තරම්. කොහොමහරි කමක් නෑ. මේව ඉතින් ඉස්කෝලෙ වැඩිය උගන්නන්නෙ නෑනෙ. ඒ තරමට ගුරුවරුන්ට මේව එපා වෙලා. එහෙනම් ඔන්න මෘදුකාංග වර්ගීකරණයත් ඉවරයි!

Writer -
Umayanga Madushan

No comments :

Post a Comment