January 4, 2015

නිවැරදි_තීරණය

Up නිවැරදි_තීරණය

ආදරණීය සහෘදය,

එළඹෙන ජනපතිවරණය රටේ තීරණාත්මක ඡන්දයක් වන බවට සැකයක් නැත.. පරාජය කා අතේදැයි සොයාගන්නට අවශ්‍ය නම්, කළයුත්තේ දෙපක්ෂයේ ප්‍රචාරක උපක්‍රම දෙස දෑස් හැර බැලීම පමණි.. එක පක්ෂයක් සභ්‍ය, සංවර සහ ශිෂ්ට ලෙස සිය ප්‍රචාරණය කරගෙන යන අතර, අනෙක් පක්ෂය කණුවක් කණුවක් ගණනේ පෝස්ටර් කටවුට් ගසමින්, ලක්ෂ කෝටි ගණන් අත්පත්‍රිකාවලට වියදම් කරමින්, පැහැරගත් කුඩා දරුවන් දම්මවා "අනේ මගේ අම්මා නෑ" කියවමින්, අන්තිම අශිෂ්ට, අසීලාචාර සහ නින්දිත මට්ටමේ ප්‍රචාරණයක් කරගෙන යන බව මේ වනවිට ඔබට නොපෙනී තිබිය නොහැක..

මේ කාරණා මෙසේම තිබියදීත් යමෙකු තවමත් මහින්ද පාක්ෂිකයකු වන්නේ නම්, එසේ වීමට හේතු ඇත්තේ ඉතාම ස්වල්පයකි. සරලව කිවහොත්,

1. තමාට හෝ තම පවුලේ සාමාජිකයකු හට මහින්ද රජයට ඇති බැඳීම නිසා,
2. චන්ද්‍රිකාට / රනිල්ට / මෛත්‍රීට ඇති පුද්ගලික අකැමැත්ත නිසා
3. මෛත්‍රී ජනපති වීම මගින් රටේ ඒකීය භාවය නැති වී, යළිත් දමිළ බෙදුම්වාදය හිස් ඔසොවාවී (නැතහොත් ඉස්ලාම් ආක්‍රමනවාදය බලවත් වේවි) යන බිය නිසා,
4. මහින්ද යුද්ධය අවසන් කළා යන කෘතවේදී හැගීම නිසා
5. රට අස්ථාවර වේවි / ආණ්ඩුව කැඳහැළියක් වේවි යන බිය නිසා..


හිතවත් පාඨකය,
අංක 1 සහ 2 ගැන අප කතා කළ යුතු නැත.. තමාට යම් පුද්ගලික බැඳීමක් ඇත්තකු හට ඡන්දය දීමට මෙන්ම අකැමැත්තෙකු හට ඡන්දය නොදීමට යමෙකුට ඇති මානුෂීය අයිතිය අප විසින් ප්‍රශ්න කළ යුතු නැත.. එවැන්නන් සමග තර්ක කිරීමට නොයන්න.. එයින් සිදුවන්නේ හොඳහිත නැතිවීම පමණි.. ඔබත් එවැන්නකු නම් ඔබට මේ ඉතිරි ටික නොකියවා සිටිය හැක.. කිසිදු අවුලක් නැත..


අංක 3 - දමිළ බෙදුම්වාදය සහ ඉස්ලාම් ආක්‍රමණවාදය - මෙය එහෙම පිටින්ම තුර්කිවංශලා විසින් මතුරනු ලබන පුස් තර්කයකි.. බෙදුම්වාදයක් ස්ථාපිත කිරීම හිතන තරම් පහසු නැත.. මෛත්‍රී නොව කේ.පී. ජනපති වුවද, සමස්ත රටක දේශපාලනය කණපිට හරවමින්, ෆෙඩරල් ක්‍රමයක් ගෙනඒම වසර දෙක තුනකින් තබා දශකයකින්වත් කරගන්නට හැකි වැඩක් නොවේ.. අනෙක මෛත්‍රීපාල මොන මගුල කළත්, ආරක්ෂක සහ උපක්‍රමික අතින් රටේ වටිනාම වරාය වන ත්‍රිකුණාමල වරාය, ඉන්දියාවට හිතැති දමිළයන් අතට යනතුරු චීනය බලා ඉන්නේ ද නැත.. කොහොමටත් මේ ඡන්දය දින්නොත් (අමාරුවෙන් දිනාගත් ජනපතිකම අතේ තිබියදී) රටේ වටිනාම වෙරළ තීරයක් සහිතව රටෙන් කෑල්ලක් දමිළ ස්වයං පාලනයකට ලියා දෙන්නට තරම් මෛත්‍රීපාල මෝඩයකු යැයි ඔබ සිතනවා ද? එසේ සිතනවා නම් ඔහු මෙපමණ කල් දේශපාලනයේ සිටිතැයි ඔබ සිතනවා ද??

කොටි ගැන කතා කළ නිසා යමක් ඒ ගැන ද කිව යුතුය.. කවුරු මොනවා කිව්වත් කොටි දැන් අවසාන ය.. ඉතුරු වුණේ මහකොටි 4 දෙනෙකි.. උන් හතරදෙනාම දැන් ඉන්නේ කාගේ ඇකයේ ද යන්න ඔබම සිතා බැලිය යුතුය.. නැගෙනහිරදී යටත් වූ හමුදා සෙබළුන් 206ක් හිසට වෙඩි තබා මරා දමන්නට අණ දුන්, පොලිස් නිලධරයන් 600 ගණනකගේ ලේ සිය දෑතේ ඇති, දළදා මාළිගයට බෝම්බ ගැසූ, මහමෙවුනාවෙදී සිල්වතුන් වෙඩි තබා මරා දැමු, අරන්තලාවේදී බුද්ධ පුත්‍රයන් තිස් ගණනක් සිය පුද්ගලික අණින් කපා කොටා මරා දැමු, කාතන්කුඩියේදී අසරණ මුස්ලිම් මිනිසුන් 140 කට වැඩි ගණනක් වෙඩි තබා ඝාතනය කළ මිනීමරුවකු, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ට උප සභාපති ලෙස පිදුම් ලබා සිටියදී, යුද විරු ජෙනරාල් සරත් ෆොන්සේකා හිරේට දක්කපු ආකාරය ඔබට මතක නැති වන්නට බැරි ය.. ඔව්, මේ රටේ කොටි නම් සිටිති.. ඒ ඉන්නේ කොහේදැයි ඔබ ඔබගෙන්ම අසන්න.. ඊළඟට ඒ කොටින්ගේ මර යුදය මෙහෙයවූ නියමුවා ඉන්නේ කොහේදැයි ඔබ ඔබෙන්ම අසන්න.. ඒ යුද්ධය කරන්නට ජනපතිට බල කළ පිරිස් දෙකම, එනම්, හෙළ උරුමය සහ ජවිපෙ අද ඉන්නේ කොහේදැයි ඔබ ඔබෙන්ම අසන්න..

3. මහින්ද යුද්ධය අවසන් කළාය යන කතාව පිළිබඳව බොහෝ දේ කිව යුතුය.. එහෙත් පුද්ගලිකව මගෙන් යමෙක් ඇසුවොත් මා කියන්නේ "ඒ ගෞරවය අයිති ගෝඨාභයට" කියා ය.. මහින්ද පිළේ මා ගරුකරන එකම චරිතය ඒ ය... යුද්ධයක් අතරතුර විදේශ සම්බන්ධතා නිසිලෙස පවත්වාගැනීම තරම් වැදගත් කාරියක් තවත් නැත.. ඒ අතින් රාජ්‍ය තාන්ත්‍රික ලෙස මහින්ද තරම් අසාර්ථක පාලකයෙක් දකුණු ආසියාවේම සිටිතැයි මම නොසිතමි.. මේ කියන්නේ උන්මාදනීය ජාත්‍යාතල් එකෙන් මත්ව, ඇමරිකාවෙන් ගේම ඉල්ලා විමල් කොල්ලා කඩේ යැවීම නොවේ.. තමාරා, නෝනිස් වැනි සැබෑ රාජ්‍යතාන්ත්‍රික සටන්කරුවන් කුණු මුල්ලට විසිකරමින් සජින් වාස් වැනි පිම්පියන් ඔඩොක්කුවේ තබා නැලවීම ගැන ය..
යුද්ධය අවසන් කිරීම ගැන ඔබට මහින්දට කළගුණ සළකන්නම අවශ්‍ය නම්, ලබන මහමැතිවරණයේදී මහින්දට ඡන්දය දෙන්න.. එහෙත් මේ තීරණාත්මක මොහොතේ වල්වැදුණු නීතියක් වෙනුවෙන් ඡන්දය නොදෙන්න.. මහින්ද මේ ඡන්දයෙන් පරාජය වූවා කියා විදුලිපුටු යන්නේ නැත.. විදුලිපුටු යන්නට අප එවැනි ප්‍රඥප්තියකට අත්සන් තබා නැත.. එව්වා විමල්ගේ සඳබයිලා ය.. එහෙත් රටේ මෙතෙක් කල් කළ නාස්තිය, දූෂණය, අවනීතිය සහ අවිචාර පාලනය සම්බන්ධයෙන්, ඔහුට ලංකාවේ අධිකරණයකින් නම් නඩු පැවරීමට බොහෝ සේ ඉඩ ඇත.. එසේම, එවැනි චෝදනා තිබියදී පවා රටට කළ (අතීත) සේවය වෙනුවෙන් ඔහුට කොන්දේසි විරහිත සමාවක් ලැබීමට ද ඉඩ ඇත.. කෙසේ වෙතත් අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට කළා වැනි අසාධාරණයක්, සරත් ෆොන්සේකාට කළා වැනි අසාධාරණයක් නම් ඔහුට සිදු නොවනු ඇත..

4. රට අස්ථාවර වීම - රටක යුද්ධයක් පවතීනම්, ඒ රටේ නායකයා සාමයට සූදානම් විය යුතුය.. රටේ සාමය පවතී නම් ඒ රටේ නායකයා අනාගත යුද්ධයකට සූදානම් විය යුතුය.. යුද්ධය කාලයේ මහින්ද කිසිදාක රටේ සාමයක් උදාකිරීම ගැන සැලසුම් කළේ නැත.. එසේ කළා නම් චීනය කියන කියන පදයට අද අපට නටන්නට අවශ්‍ය වන්නේ නැත.. එසේ කළා නම්, නැව් හුඟක් එන හම්බන්තොට වරාය, ප්ලේන් ගොඩක් එන මත්තල ගුවන්තොටුපල, චීනයට ලියාදුන් කොළඹ වරාය සහ මෙලෝ යකෙකුට වැඩක් නැති නෙළුම් කුළුණ මේ රටේ හැදෙන්නේ නැත.. හදපු දේවලින් ප්‍රයෝජනයක් ඇති දේකට ඇති දේවල් ඇත්තේ දෙකකි.. එකක් නෙලුම් පොකුණ ය.. අනෙක අධිවේගී මාර්ග ය.. එහෙත් ඒවායින් පවා පවා ලක්ස-කෝටි-ප්‍රකෝටි ගණන් ගසා කෑ හැටි දැන් රටම දනී.. දැන් අපට ගැළවීමක් නැත.. දැන් අපට ඉතිරිව ඇත්තේ ඉදිරි පරම්පරා තිහ-හතළිහක් චීනයට වහල්කම් කිරීම පමණි.. මෙන්න අපට දිනා දුන් නිදහස! මෙන්න අපේ රටේ ස්ථාවරත්වය!!
එළඹෙන රජය කැඳහැළියක් යැයි සමහරු කියති.. අප ඔවුන්ගෙන් ඇසිය යුත්තේ එතකොට දැන් මේ ඉන්නා හැලිය මොන හැළියක්ද යනුවෙනි.. මේ හැළිය කකුළු හැළියකි... ඔබත් මමත් එහි කකුළුවෝ වෙමු.. තවම වතුර නටන රස්නය අපට දැනී නැත.. තංගල්ලේදී දූෂණය කළ බ්‍රිතාන්‍ය ජාතික තරුණියට නම් ඒ රස්නය හොඳටම දැනුණි.. මරා දැමු කුරාම් ෂෙයික්ට වළෙන් නැගිට එන්නට හැකිනම් ඔහු ඒ ගැන කතා කරනු ඇත.. අතුරුදන් කරවූ ප්‍රගීත් එක්නැලිගොඩලා, වාහනය ඉබේ ගිනිගත් වසීම් තාජුඩීන්ලා, කටුනායකදී වෙඩි කෑ රොෂේන් චානුකලා, හලාවතදී වෙඩි කෑ ඇන්ටනිලා, රතුපස්වල වෙඩි කෑ අකිල දිනේෂ්ලාට හැකිනම් වළෙන් නැගිට එන්නට, ඔවුන් ඔබට ඒ ගැන කතා කරනු ඇත.. මේ සිරගේ තුළ අප සියල්ලෝම සිරකරුවෝ වෙමු.. ජේලර්ලා තවමත් ඔබ සොයා ඇවිත් නැත..


ඔබ තරුණියක නම්, හෙට ඔබේ රුවට වහවැටෙන ඇමති පුතෙකු ඔබ පැහැරගෙන නොයනු ඇතැයි ඔබට හොඳින්ම විශ්වාස ද? ඔබ තරුණයකු නම්, හෙට ඔබේ විශ්ව විද්‍යාලයේ පැවැත්වෙන සාමකාමී උද්ඝෝෂණයකදී ඔබ වෙඩි කා මිය නොයනු ඇතැයි ඔබට සහතික ද? සිතට අවංක වන්න..

මේ ඔබේ අවසාන ප්‍රජාතාන්ත්‍රික ඡන්දයයි.. මින් පසු මේ රටේ නමට මිස සැබෑ ඡන්ද නැත.. ඔබ දෙන ඡන්දයෙන් ඔබේ දරුමල්ලන් ඔබට ශාප කරන ආකාරයේ අවනීතික, අසාධාරණ සහ විළිලජ්ජා නැති පාලනයක් බිහි නොකරනුවස්, ඔබේ වටිනා ඡන්දය බුද්ධිමත්ව පාවිච්චි කරන්න.
.


උපුටා ගන්නා ලදී...
Chameera Jeewantha Dedduwage ලිපියකි


පිටකොටුව ගමට ගෙනියමු

  පිටකොටුව ගමට ගෙනියමු මෙන්න Online වෙළෙඳපොලේ අලුත්ම පෙරළිය..  ********* 2021 Life එක ගොඩ දාගන්න එන්න  100% ශ්‍රී ලාංකික ආයතනයක් වන Pitakotu...