රයිට් සොහොයුරන් - Wright Brothers
මුල් ම සාර්ථක ගුවන් යානය නිපදවූ රයිට් සොහොයුරන් විල්බර් හා ඕවිල් රයිට් අමෙරිකානු මැද පාංතික පවුලක උපන්නේ 19 වන සියවසේ මැද. විල්බර් 1867දී හා ඕවිල් 1871දී. ඔවුන්ගේ පියා බිෂෝප්වරයකු වූ නිසා කලින් කලට පදිංචිය මාරු කරන්නට සිදු වුණා. කුඩා කාලයේ දරුවන්ට සොබාවික පරිසරය මෙන් ම යාන්ත්රික දේවල් ගැනත් ඕනෑ තරම් ගවේෂණය කිරීමට දිරි දුන්නේ ඔවුන්ගේ මවයි. ගෙදර ඕනෑ ම බඩුවක් ගලවා ඒවා වැඩ කරන හැටි සොයා බලන්නටත්, දියුණු කිරීම් යෝජනා කරන්නටත් ඇය දරුවන් උනන්දු කළා. රයිට් සොහොයුරන් තරුණ වියේදී මුලින් පිවිසුණේ පුවත්පත් කර්මාන්තයට. ඔහායෝ ප්රාන්තයේ ඬේටන් නුවර මුද්රණාලයක් මිළට ගෙන එය හරහා ප්රාදේශීය පත්තරයක් පළකිරිම ඇරඹුවා. කර්තෘ මන්ඩල මෙන්ම ව්යාපාරික අංශය ගැනත් පුළුල් දැක්මක් ඔවුන්ට තිබුණත් ඒ වකවානුවේ පැවති සීමිත වෙළඳපොල හා තාක්ෂණය නිසා ඒ උත්සාහය සාර්ථක වූයේ නැහැ. මේ නිසා පත්තර කර්මාන්තය නවතා දමා ඔවුන් බයිසිකල් වැඩපොළක් ඇරඹුවා. බයිසිකලය යුරෝපයේ නිපදවා හඳුන්වා දෙනු ලැබුවේ 1817දී. එය 1890 වන විට අමෙරිකාවේ වඩා ජනාදරයට පත් නිපැයුමක් බවට පත් වුණා. මෝටර් රථ තවමත් පුළුල් භ...